4. 1. 8.
නන්දති සූත්රය.
144. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි පාපී මාරයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“දරුවන් ඇති තැනැත්තේ දරුවන් කරණකොට සතුටුවේ. එසෙයින්ම ගවයින් ඇති තැනැත්තේ ගවයින් කරණකොට සතුටුවේ. උපධිහු (පස්කම් ගුණයෝ) වනාහි සත්වයන්ට සතුටට කරුණුයහ. යමෙක් උපධි (පස්කම් ගුණයන්) නැතියේනම්, හේ සතුටක් නොම ලබයි.”
[භාග්යවතුන් වහන්සේ:]
“දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝකකෙරේ. එසේම ගවයින් ඇත්තේද ගවයින් කරණකොට ශෝකකෙරේ. උපධීහු (කාමවස්තූහු) වනාහි සත්වයන්හට ශෝකයට කරුණුයහ. යමෙක් උපධි (පස්කම්) නැතියේනම් ඔහු ශෝක නොකෙරේ.”
ඉක්බිති පාපී මාරයා ‘භාග්යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ’ යි සිතා එහිම අතුරුදන්විය.
4. 1. 9.
පඨමආයු සූත්රය.
145. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළසේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්යවතුන් ට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ (ඔවුන්ට) මෙසේ වදාළසේක:
“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳ එකෙක. පරලොව යා යුතුය, (එබැවින්) කුසල් කළ යුතුය. බ්රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහුට නොමැරී සිටීමෙක් නම් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු සියක් අවුරුද්දක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.”
ඉක්බිති පාපී මාරයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන්ට ගාථාවෙන් මෙය කීය:
“මිනිසුන්ගේ ආයුෂ දිගය. නුවණැති මිනිසා එය හෙළා නොදක්නේය. කිරිබීම් පමණක් ඇති ළදරුවෙකු මෙන් හැසිරෙන්නේය. මරණය ළංවී ඊමෙක් නැත.”
[භාග්යවතුන් වහන්සේ:]
“මිනිසුන්ගේ ආයු මඳය. නුවණැති පුරුෂයා එය හෙළා දක්නේය. ඉස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේය. මරණය නොඊමෙක් නැත.”
එවිට පාපී මාරයා, ‘භාග්යවතුන් වහන්සේ මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ,යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
4. 1. 10.
දුතියආයු සූත්රය.
146. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළසේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්යවතුන් ට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී ඉඳුමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු අවුරුදු සියයක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.”
එවිට පාපී මාරයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන්ට ගාථාවෙන් මෙය කීය:
“රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුද්ධ නොවේ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකඳ අනුව යන නිම්වළල්ල මෙනි.”
[භාග්යවතුන් වහන්සේ:]
“රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂ ගෙවේ. කුඩා ඇල දොළවල දිය මෙනි.”