4. 1. 6.
සප්ප සූත්‍රය.
142. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්‍ධකාරය ඇති රැයෙක එළිමහණෙහි හුන්සේක. වැහි පොදද එක දෙක වැටෙයි.
එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැතිගැනුම්, ලොමුඩැහැගැනුම් ඇතිනරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වෙස් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. තනි රුකෙකින්ම කළ මහ ඔරුවක් යම්සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන් තලිය යම් පමණද, ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුවතුලින් නික්මෙයි. කඹුරුසම (මයිනහම) සුළඟින් පිරෙන කල ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ.
එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයායැ’ යි දැන ඔහුට මෙසේ ගාථාවෙන් වදාළසේක:
“යමෙක් හිඳීමාදිය පිණිස මිනිසුනිගෙන් හිස්වූ ගෙවල් සෙව්නේද, ඒ තමා සංවරවූ මුනිතෙම ඔහු ඔහුගේ ආත්මභාවයෙහි ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳු වූ තථාගතයන් වහන්සේට එය සුදුසුමය.”
“එබඳුවූ මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද, අරමුණුද බොහෝය. තවත් ඇටමැස්සෝද, සර්‍පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් ඒ මුනි උතුමා ඒ හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.”
“අහස පුපුරතත්, පොළොව සෙලවෙතත්, සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත්, බුදුවරු පඤචස්කන්‍ධයන්හි රැක්මක් නොකෙරෙත්.”
ඉක්බිති ඒ පාපී මාරයා, “භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගක්හ” යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
4. 1. 7.
සොප්පසි සූත්‍රය.
143. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ දවසෙක රෑ බොහෝ වේලාවක්ම සක්මන්කොට රෑ ඉතා අලුයම්හි පා සෝදා විහාරයට ඇතුල්වී, දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා, සිහිනුවණ ඇතිව, ‘අසුවල් වේලෙහි නැගී සිටුම්හ’ යි අදහස සිත්හි කොට, දකුණු ඇලයෙන් උත්‍රම් සැතපුම (සිංහශය්‍යාව) කළසේක.
එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
“කිමෙක්ද, නිදන්නෙහිද? කුමට නිදන්නෙහිද? මළ එකකු සෙයින් මේ කුමට සැතපෙන්නෙහිද? ‘මට හිස් ගෙයක් ලැබිණැ’ යි සිතා සැතපෙන්නෙහිද? මේ හිරු නැගි කල්හි කවර හෙයින් නිදන්නෙහිද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“දැලක් බඳුවූ ඒ ඒ රූපාදීවූ අරමුණෙහි ඇලෙන තෘෂ්ණාව කිසි අරමුණකට (තමා) පමුණුවන්නට (හැකිසේ) යමකු තුළ නැද්ද, එසේවූ බුදුවරතෙම සියලු උපධි නසා ලීමෙන් (සුවපත්ව) සැතපෙන්නේය. මරුව මෙහි ලා තට කවර වැඩෙක්ද?”
පාපී මාරයා එය අසා, ‘භගවත්හු මා හැඳිනගත්හ, සුගතයෝ මා දැනගත්හයි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
4. 1. 8.
නන්දති සූත්‍රය.
144. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“දරුවන් ඇති තැනැත්තේ දරුවන් කරණකොට සතුටුවේ. එසෙයින්ම ගවයින් ඇති තැනැත්තේ ගවයින් කරණකොට සතුටුවේ. උපධිහු (පස්කම් ගුණයෝ) වනාහි සත්‍වයන්ට සතුටට කරුණුයහ. යමෙක් උපධි (පස්කම් ගුණයන්) නැතියේනම්, හේ සතුටක් නොම ලබයි.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝකකෙරේ. එසේම ගවයින් ඇත්තේද ගවයින් කරණකොට ශෝකකෙරේ. උපධීහු (කාමවස්තූහු) වනාහි සත්‍වයන්හට ශෝකයට කරුණුයහ. යමෙක් උපධි (පස්කම්) නැතියේනම් ඔහු ශෝක නොකෙරේ.”
ඉක්බිති පාපී මාරයා ‘භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ’ යි සිතා එහිම අතුරුදන්විය.