4. 1. 3.
සුභ සූත්‍රය.
139. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්හි අජපල් නුගරුක මුල වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ දැඩි ගනඳුරු රැයෙහි එළිමහනෙක හුන්සේක් වේ. වැහි පොද ද එක දෙක වැටෙයි.
එකල පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ ට බිය, වෙවුලුම හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි කුදු මහත් නොයෙක් ආකාර පියකරු බියකරු වෙස් විලස් දැක්වීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයාය’ යි දැන පාපී මාරයාට මෙසේ ගාථායෙන් වදාළසේක:
“දික් කලක්ම ප්‍රියවූත් අප්‍රියවූත් වෙස් ගෙන තෝ මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩෙක් නැත තෝ (පැරදුණෙහි)ය.”
“යම් කෙනෙක් කයින්, වචනයෙන්, සිතින් මනාව හික්මුනාද මරුව, ඔවුහු තා යටතට නොඑන්නාහ. මරුව, ඔහු තගේ බැම්මට අසු නොවන්නාහ.
එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ තමා දනිතැයි, සුගතයෝ තමා හඳුනතැයි සිතා දුක් දොම්නස් වූයේ එහිම අතුරුදහන් විය.
4. 1. 4.
පඨමපාස සූත්‍රය.
140. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර අසල ඉසිපතන් නම්වූ මුව වෙනෙහි වසනසේක. එහිදී භාග්‍යවත්හු “මහණනි” යි භික්‍ෂූන්ට කථාකළසේක. “ස්වාමීන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“මහණනි, න්වණින් මෙනෙහි කිරීමෙන්, නුවණින් ප්‍රධාන වීර්‍ය්‍ය වැඩීමෙන් හැමටම උතුම් (රහත්ඵල) මිදුම මට ලැබිණ, හැමටම උතුම් (රහත්ඵල) මිදුම මවිසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදී. තෙපිද මහණනි, නුවණින් මෙනෙහි කිරීමෙන්, නුවණින් ප්‍රධාන වීර්‍ය්‍ය වැඩීමෙන් පරම (රහත්ඵල) මිදුම ලබවු, පරම මිදුම පැහැදිලි කරවු.”
එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
“මහණ තෝ කෙලෙස් මල පුඩුයෙන් බැඳුනෙහි යම් දෙව්සැප කෙනෙක් මිනිස් කම්සැප කෙනෙක් වෙත්ද, ඒ මාර බැම්මෙන් (කෙලෙස් බැම්මෙන්) බැඳුණෙහිය. මහණ, මගෙන් තෝ නොගැලවෙන්නෙහි.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“මාරය, මම් කෙලෙස් මලපුඩුයෙන් මිදුනෙමි. යම් දෙව් කම්සැප කෙනෙක් මිනිස් කම්සැප කෙනෙක් වෙද්ද, ඒ හැම මලපුඩුයෙන්ම මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.”
එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ තමා හඳුනතැයි, දනිතැයි, දැන, දුක් දොම්නස් පත්ව එහිම අතුරුදහන් විය.
4. 1. 5.
දුතියපාස සූත්‍රය.
141. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස අසල ඉසිපතන් මුව වෙනෙහි වෙසෙනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණනි” භික්‍ෂූන්ට කථාකළසේක. ‘පින්වතුන් වහන්සැ” යි ඒ මහණහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, දෙව්කම් සැපද මිනිස් කම් සැපද යන යම් මලපුඩුකෙනෙක් ඇද්ද ඒ හැම මලපුඩුයෙන් ගැලවුනෙමි. මහණනි, යම් ඒ දෙව්සැප මිනිස්සැප යන මලපුඩු ඇත්නම්, තෙපිද ඒ සියල්ලෙන් මිදුනහුය. එබැවින් මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස, අනුකම්පා සඳහා, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, රටින් රට, නුවරින් නුවර, ගමින් ගම සැරිසරවු. එක් පාරින් දෙදෙනෙක් නොයවු. මහණනි, මුල යහපත්, මැද යහපත්, අග යහපත් දහම අරුත් සහිතකොට දෙසවු. අකුරින් පෙදෙන් නොඅඩුකොට සම්පූර්‍ණකොට දෙසවු. සියලු අයුරින් පිරිපුන්, පිරිසුදු සසුන් බඹසර (බ්‍රහ්මර්‍ච්‍යාව) හෙළිකොට දක්වවු. ප්‍රඥා ඇස වසා සිටි මඳ කෙලෙස් ඇතිසේවූ සත්හු ඇත්තාහ. දහම් නොඅසන බැවින් දහමෙන් ඔහු පිරිහීයෙත්. දහම් දැනගන්නෝ ඇත්තාහ. මහණනි, මමත් දම් දෙසන්නට උරුවෙල් දනව් සේනානි නිගම යම් තැනකද එතැනට යන්නෙමි.”