4. 1. 10.
දුතියආයු සූත්රය.
146. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළසේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්යවතුන් ට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී ඉඳුමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු අවුරුදු සියයක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.”
එවිට පාපී මාරයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන්ට ගාථාවෙන් මෙය කීය:
“රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුද්ධ නොවේ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකඳ අනුව යන නිම්වළල්ල මෙනි.”
[භාග්යවතුන් වහන්සේ:]
“රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂ ගෙවේ. කුඩා ඇල දොළවල දිය මෙනි.”
එවිට පාපී මාරයා ‘බුදුහු මා හඳුනති. සුගතයෝ මා දනිතැ’ යි දැන දුක් දොම්නස්ව එහිම අතුරුදහන්විය.
ආයුවග්ගො පඨමො (පළමු ආයු වග නිමියේය).
එහි සූත්ර නාමාවලිය:
තපොකම්ම ද, නාග ද, සුභ ද, පාස සූත්ර දෙක ද, සප්ප, සොප්පසි, නන්දති, ආයු සූත්ර දෙක දැයි දසයෙකි.
2. දෙවෙනි (රජ්ජ) වර්ගය
4. 2. 1.
1. පාසාන සූත්රය
147. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර අසළ ගිජුකුළුපව්වෙහි වසනසේක. එකල වනාහි භාග්යවතුන් වහන්සේ ඉතා කළුවර රැයෙහි එළිමහනෙහි වැඩහුන්සේක. වැසි පොදද එක දෙක වැටේ.
එකල පාපී මාරයා භාග්යවතුන්ට බිය හා වෙවුලුම හා ලොමුදැහැගැන්ම ඇතිකරනු කැමැත්තේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට නොදුරෙහි මහත් ගල් උගුළුවා පෙරළා ලීය.
එවිට භාග්යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයා’ යයි දැන ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:
“ඉදින් මේ සියලුම ගිජුකුළුපව්ව සොලවන්නෙහි නමුදු මනාව කෙලෙසුන්ගෙන් මිදුනු බුදුවරුන්ගේ සෙලවීමෙක් නැත.”
එවිට පාපී මාරතෙම ‘භාග්යවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
4. 2. 2.
2. සීහ සූත්රය
148. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල භාග්යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලදුව දම් දෙසති.
එකල පාපී මාරයාහට “මේ ගෞතම ශ්රමණ තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. දහම් අසන්නවුන්ගේ නුවණ ඇස කණ කරන්නට ශ්රමණ ගෞතමයන් කරා ගියොත් යෙහෙකැ” යි මේ සිත විය. ඉක්බිති පාපී මාරයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය: