4. 1. 1.
තපොකම්ම සූත්රය.
137. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි (බුදුවූ අළුතම) උරුවේලා ජනපදයෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපාල නුගරුක මුල වෙසෙන සේක. එකල වනාහි හුදකලාව චිත්ත විවේකයෙන් හුන් භාග්යවතුන් වහන්සේට “ප්රීතියෙන් මම් ඒසා දැඩිවූ දුෂ්කර ක්රියායෙන් මිදුනෙම් වෙමි. ඒ අවැඩ පිණිසවූ (අවැඩ ඇසුරු කළ) දුෂ්කරක්රියායෙන් ඒකාන්තයෙන් මනාව මිදුනෙම් වෙමි. ස්ථිරව එළඹ සිටි සිහි ඇතිව සත්යාවබෝධය ලදිමි.” යි මෙසේ සිතක් පහළ විය.
එකල පවිටුවූ මාර තෙම භාග්යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැනගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් මෙසේ කීය:
“යම් තපසෙකින් සත්වයෝ පිරිසිදු වෙත්ද, එසේවූ ඒ දුෂ්කර ක්රියා තපසින් ඉවත්ව, අශුධවම හිඳ, ‘ශුද්ධයෙමි’ යි සිතන්නේහිය. ශුද්ධයට යන මග වරදවා ගත්තෙහිය.”
එවිට භාග්යවතුන් වහන්සේ මේ පවිටු වසවත් මරු යයි දැන ඔහුට ගාථාවලින් මෙසේ වදාළසේක:
“යම්කිසි අමර තපසක් (ශරීරයට දුක් දීමෙහි යෙදීමක්) වේද, එය අවැඩම පිණිස පවතීයයි. වනයෙහි රිටි පලුපත් (හබල් සුක්කානම්) ගෙන නැවක් පදවන්නට තැත් කිරීමක් මෙන් සියලු අනර්ථය ගෙන දෙන්නේයයි දැන,
“ශීල - සමාධි - ප්රඥා යන මාර්ගය සත්යාවබෝධය පිණිස වඩා පරම ශුද්ධිය (රහත් බව) අත්පත් කෙළෙමි. මරුව, තෝ පැරදුනෙහිය.”
එවිට පාපී මාර තෙම, ‘භාග්යවත්තෙම මා දනී, සුගතතෙමේ මා හඳුන” යි සිතා ශෝකීව දොම්නස්ව එහිම අතුරුදහන් විය.
4. 1. 2.
නාග සූත්රය.
138. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්වෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපල් නුගරුක් මුල වසන සේක. එකල භාග්යවතුන් වහන්සේ දිනෙක රෑ ගනඳුරෙහි එළිමහනෙක හුන්සේක. වැහි පොද ද එක දෙක වැටෙයි.
එකල පාපී මාරයා භාග්යවතුන් වහන්සේ ට බිය, වෙවුලුම් හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහ ඇත් රජෙක්හුගේ වෙස් මවාගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. ඔහුගේ හිස මහ කළුගලක් වැන්න: ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬ මහ නගුල් හිසක් වැන්න.
එවිට භාග්යවතුන් වහන්සේ ‘මේ පාපී මරුය’ යි දැන ඔහුට මෙසේ ගාථායෙන් වදාළසේක:
“දික් කලක්ම ප්රියවූත් අප්රියවූත් වෙස් ගෙන (තෝ) මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩක් නැත. මාරය, තෝ පැරදුණෙහිය.”
එවිට පාපී මාර තෙමේ ‘භගවත් තෙම මා දනී. සුගතතෙම මා දනී’ යි සිතා දුකට දොම්නසට පත්ව එහිම අතුරුදහන් විය.
4. 1. 3.
සුභ සූත්රය.
139. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්හි අජපල් නුගරුක මුල වසන සේක. එකල භාග්යවතුන් වහන්සේ දැඩි ගනඳුරු රැයෙහි එළිමහනෙක හුන්සේක් වේ. වැහි පොද ද එක දෙක වැටෙයි.
එකල පාපී මාරතෙම භාග්යවතුන් වහන්සේ ට බිය, වෙවුලුම හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තෙන් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ නොදුරෙහි කුදු මහත් නොයෙක් ආකාර පියකරු බියකරු වෙස් විලස් දැක්වීය.
එවිට භාග්යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයාය’ යි දැන පාපී මාරයාට මෙසේ ගාථායෙන් වදාළසේක:
“දික් කලක්ම ප්රියවූත් අප්රියවූත් වෙස් ගෙන තෝ මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩෙක් නැත තෝ (පැරදුණෙහි)ය.”
“යම් කෙනෙක් කයින්, වචනයෙන්, සිතින් මනාව හික්මුනාද මරුව, ඔවුහු තා යටතට නොඑන්නාහ. මරුව, ඔහු තගේ බැම්මට අසු නොවන්නාහ.
එවිට පාපී මාරයා භාග්යවතුන් වහන්සේ තමා දනිතැයි, සුගතයෝ තමා හඳුනතැයි සිතා දුක් දොම්නස් වූයේ එහිම අතුරුදහන් විය.