3. 3. 3.
3. ලොක සූතුය
134. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, උපදින්නාවූ කොතෙක් දහම් ලෝකයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු පිණිස, විහරණය පිණිස උපදිද්ද?
“මහරජ, උපදිනා දහම් තුනක් ලෝකයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු පිණිස, විහරණය පිණිස වෙති. කවර දහම් තුනක්ද යත්? මහරජ, ලෝභය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය, ද්වේෂය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය. මෝහය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය, “මහරජ, උපදනාවූ මේ දහම් තුන ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය.
“ලෝභයද, ද්වේෂයද, මෝහයද (තම සන්තානයෙහි පහළවූවෝ) ලාමක අදහස් ඇති පුද්ගලයා පෙළති. කුමක් මෙන්ද හත්? පොත්ත හරයකොට (අරටුවකොට) ඇති ගසක ඵලය එබඳු ගසක් පෙළා වනසන්නාක් මෙනි.”
3. 3. 4.
4. ඉස්සත්ත සූත්රය
135. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කාහට දන් දිය යුතුද?” “මහරජ, යම් කෙනෙකුන් කෙරෙහි සිත පහදීද ඔවුන්ට දිය යුතුය” යි වදාළේය. “කාට දුන් දේ මහත්ඵල ඇතිවේද?” “මහරජ, කාහට දන් දිය යුතුද? යන්න අනිකකි. (එක ප්රශ්නයකි.) කවුරුන්ට දෙන ලද්දේ මහත්ඵල ඇතිවේද? යන්න අනිකකි. (වෙන ප්රශ්නයකි.) “මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ වේ. දුශ්හීලයාට දෙන ලද්ද එසේ නොවේ. එසේවී නම් මහරජ, මෙහිලා ඔබම පිළිවිසිමි. ඔබට වැටහෙන පරිදි විසඳන්න.
“මහරජ, ඒ කුමැයි හඟනෙහිද? මෙහිදී ඔබට යුද්ධයෙක් එළඹ සිටියේනම්, යුද සෙනගත් රැස්වූවාහු නම් එකළ දුනු ශිල්පයෙහි පුහුණු නොවූ, ශිල්පාභ්යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, ක්ෂත්රිය තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞ්ග්රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්රයෝජන ඇත්තේද?” “ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්රයෝජන නැත්තේය.”
ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, බ්රාහ්මණ තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?” “ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්රයෝජන නැත්තේය.” ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, වෛශ්ය තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?” “ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්රයෝජන නැත්තේය.” ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, ශ්රද්ර තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?” “ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්රයෝජන නැත්තේය.”