3. 3. 1.
1. පුග්ගල සූත්‍රය
132. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. එනම්:- “මහරජ, මේ ලෝකයෙහි පුද්ගලයෝ සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමානයහ. කවර සතර දෙනෙක්ද යත්:- අඳුරෙන් අඳුරට යන්නාය, අඳුරෙන් එලියට යන්නාය, එලියෙන් අඳුරට යන්නාය, එලියෙන් එලියට යන්නාය (යන සතරදෙනා වෙත්.)
“මහරජ, කෙසේනම් පුද්ගලයා අඳුරෙන් අඳුරට යන්නේ වේද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දිළිඳුවූ, ආහාරපාන දුර්‍ලභවූ, දුෂ්කර පැවතුම් ඇති, ඉතා දුකසේ කෑම ඇඳීම ලබන, සැඩොල් කුලයෙහි හෝ කුළුපොතු කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, කසලශෝධක කුලයෙහි හෝ, එබඳු පහත් කුලයෙහි උපන්නේවේද, හෙතෙමේත් අවලක්‍ෂණවූයේ, අප්‍රිය දැකුම් ඇත්තේ, ලකුණ්ටක (මිටි) වූයේ, ලෙඩින් පීඩිතවූයේ වේද, කණෙක් හෝ, අත් කොරෙක් හෝ, පා කොරෙක් හෝ, නටුවාවූ අඩකය ඇත්තෙක් හෝ වේද, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, නිදන තැන්, වසන තැන්, පහන් දල්වන දේ නොලබන්නෙකුත් වේද, හෙතෙම කයින්ද දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන්ද දුසිරිතෙහි හැසිරෙයි. සිතෙන්ද දුසිරිතෙහි හැසිරෙයි, හෙතෙම කයින්ද දුසිරිතෙහි හැසිර, වචනයෙන්ද දුසිරිතෙහි හැසිර, සිතෙන්ද දුසිරිතෙහි හැසිරී කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, දුක් පැවතුම් ඇති, වහා වැටීම් ඇති නරකාදියෙහි උපදින්නේය.
මහරජ, යම්සේ නම් පුරුෂයෙක් අන්‍ධකාරයෙන් අන්‍ධකාරයට, කළුවරෙන් කළුවරට, ලේ කිලුටෙන් ලේ කිළුටට පැමිණේද, මහරජ, මේ පුද්ගලයාත් එබඳුයයි මම කියමි. මහරජ, අඳුරෙන් අඳුරට යන පුද්ගලයා මෙසේයි.
“මහරජ, අඳුරෙන් එලියට යන පුද්ගලයා කෙසේද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, දිළිඳුවූ,දුර්‍ලභ ආහාරපාන ඇති, දුෂ්කර පැවතුම් ඇති, ඉතා දුකසේ කෑම ඇඳීම ලබන, සැඩොල් කුලයෙහි හෝ කුළුපොතු කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, කසලශෝධක කුලයෙහි හෝ, යන මෙබඳු පහත් කුලයෙහි උපන්නේවේද, හෙතෙමේත් අවලක්‍ෂණවූයේ, දැකීමට අප්‍රිය වූවෙක් වූයේ, ලකුණ්ටකයෙක් (මි්ට්ටෙක්) වූයේ, නිතර ලෙඩින් පීඩිතයෙක් වූයේ, කණෙක් හෝ, අත් කොරෙක් හෝ, පා කොරෙක් හෝ, පක්‍ෂඝාතයෙක් හෝ වූයේ, ආහාර, පාන, වස්ත්‍ර, රථ, මල් ගඳ විලවුන්, නිදන හිඳින තැන්, පහන් දල්වන උපකරණ නොලබන්නෙකුත් වේද, හෙතෙමේ කයින් සුසිරිතෙහි හැසිරෙන්නේ වේ. වචසින් සුසිරිතෙහි හැසිරෙන්නේ වේ. සිතින් සුසිරිතෙහි හැසිරෙන්නේ වේ, හෙතෙමේ කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුසිරිෙතහි හැසිර, සිතෙන් සුසිරිතෙහි හැසිර, කය බිඳීමෙන් මරණින් මතු ශොභන ගති ඇති, සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදියි.
“මහරජ, යම්සේ යම් පුරුෂයෙක් බිමෙන් අසුනකට නගීද, අසුනෙන් අසෙකු පිටට නගීද, අසෙකු පිටින් ඇතෙකු පිටට නගීද, ඇතෙකු පිටින් පහයකට නගීද, මේ පුද්ගලයා එබඳුයයි මම කියමි. මහරජ, මෙසේනම් පුද්ගලයා අඳුරෙන් එලියට යන්නේ වේ.