3. 2. 6.
ධීතු සූත්‍රය.
127. සැවැත් නුවරදී -
එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය.
එවිට එක්තරා පුරුෂයෙක් කොසොල් රජු වෙත පැමිණියේය. පැමිණ කොසොල් රජුගේ කණට කොඳුරා, ‘දේවයන් වහන්ස, මල්ලිකා දේවී දුවක් වැදුවා’ යයි කීයේය. මෙසේ කී කල්හි පසේනදි කොසොල් රජු නොසතුටු සිත් ඇත්තේ විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නොසතුටට පැමිණියවුන් දැන ඒ වේලෙහි මේ ගාථා වදාළ සේක:
මනුෂ්‍යොත්තම රජතුමනි, නුවණැති, සිල්වත්, නැන්දම්මාට දේවතාවියක වැනි වූ, පතිවත රකින ඇතැම් ස්ත්‍රිය පිරිමියාටත් වඩා උතුම් වන්නීය.
ඇයට යම් පුතෙක් උපදීද ඔහු දික්පති (දිශාවට අධිපති) වෙයි. එබඳු වාසනාවන්තියගේ පුත්‍රයා රජකම් පවා කරන්නේය.
3. 2. 7.
අප්පමාද සූත්‍රය.
128. සැවැත් නුවරදී -
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය: 'ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අර්ථසිද්ධියම ගෙන දෙන එකම ධර්මයක් ඇත්තේද?'
මහරජ, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අර්ථයම අත්කර දෙන එකම ධර්මයක් ඇත්තේය.
ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අර්ථයම අත්කර දෙන ඒ එකම ධර්මය කුමක්ද?
මහරජ, අප්‍රමාදය (එළඹසිටි සිහි ඇති බව) නම්වූ මේ එකම ධර්මය මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අභිවෘද්ධියම අත්කර දෙයි. මහරජ, යම්සේ ඇවිදින සතුන්ගේ යම් පියවර සටහන් වෙත්ද, ඒ සියල්ල ඇත් පියවර ඇතුළතම බැසගනීද, මහත් බැවින් ඒ ඇත් පියවර ඒ හැම පියවරටම වඩා අග්‍රයයි කියනු ලැබේ ද, එමෙන්ම මහරජ, අප්‍රමාදය නම් වූ මේ එකම ධර්මය මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අර්ථයම අත්කර දෙයි.
ආයුෂද, නීරෝගී බවද, වර්ණයද, ස්වර්ගයද, උසස් කුලයෙහි ඉපදීමද, (යන මේ) උදාරවූ අනුක්‍රමික සැප සම්පත්ද පතන්නා විසින් පින් දහම් කිරීමෙහි අප්‍රමාදය නුවණැත්තෝ පසසති.
අප්‍රමත්තවූ නුවණැත්තා අර්ථ දෙකම අත්පත් කරගනී: දිට්ඨධම්මික (මෙලොව) අර්ථයද, සම්පරායික (පරලොව) අර්ථයද යන දෙකයි. අර්ථය අවබෝධ කරගැනීමෙන් ඒ ධීර තෙමේ පණ්ඩිතයා යයි කියනු ලැබේ.
3. 2. 8.
කල්‍යාණමිත්ත සූත්‍රය.
129. සැවැත් නුවරදී -
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය: 'ස්වාමීනි, මෙහි රහසිගතව විවේකීව හුන් මට මෙබඳු චිත්ත පරිවිතර්කයක් උපනි: භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී. එය කල්‍යාණ මිත්‍රයන් ඇත්තාටය, කල්‍යාණ යහළුවන් ඇත්තාටය, කල්‍යාණ නැඹුරුව ඇත්තාටය. පාප මිත්‍රයන් ඇත්තාට නොවේ, පාප යහළුවන් ඇත්තාට නොවේ, පාප නැඹුරුව ඇත්තාට නොවේ' යයි.