3. 2. 3.
දොණපාක සූත්රය
124. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එසමයෙහි පසේනදි කොසොල් රජ සහල් දොාණයක පිසූ බත (දොාණයක් නම් නැලි හතරකි.) කෑම කරයි. දිනක් කොසොල් රජ බත් කෑමෙන් පසු මහන්සියෙන් ආශ්වාස ප්රශ්වාස කරමින් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව හිඳ ගත්තේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ බොහෝකොට අනුභව කිරීමෙන් මහන්සියෙන් හුස්ම ගන්නාවූ පසේනදි කොසොල් රජ දැක එවේලෙහි මේ ගාථාව වදාළසේක:
“හැම වේලෙහි සිහියෙන් යුක්තවූද, ලද ආහාරයෙහි පමණ දැන කෑම කන්නාවූද මිනිසාගේ දුක් වේදනා තුනී වෙති, ඒ ආහාරයද ආයුෂ පාලනය කරමින් වහා දිරවනු ලැබේ.
එකල සුදස්සන නම් මානවකයා රජ පිටිපස සිටියේ වේ. ඉක්බිති නොසොල් රජ සුදස්සන මානවකයාට කථානර ‘දරුව, සුදස්සනය, නුඹ මේ ගාථාව භාග්යවතුන් වහන්සේගෙන් ඉගෙනගෙණ, මා බත් කන තැනදී කියන්න. මම නුඹට දිනපතා කහවනු සියය බැගින් නිති වැටුපක් පවත්වන්නෙමි’ යි කීයේය. ‘දේවයන් වහන්ස, එසේය’ යි සුදස්සන මානවකයා පසේනදි කොසොල් රජුට පිළිතුරු දී, භාග්යවතුන් වහන්සේ වෙත මේ ගාථාව පුහුණුකොට, පසේනදි කොසොල් රජ බත් කන තැනදී නොවරදවා කියයි:
“හැම වේලෙහි සිහියෙන් යුක්තවූද, ලද ආහාරයෙහි පමණ දැන කෑම කන්නාවූද මිනිසාගේ දුක් වේදනා තුනී වෙති, ඒ ආහාරයද ආයුෂ පාලනය කරමින් වහා දිරවනු ලැබේ.”
ඉන්පසු පසේනදි කොසොල් රජ ක්රමයෙන් (අඩුකොට) සහල් නැලියක බත් වැඩියම කන තරම්හි සිටියේය.) එකල කොසොල් රජ ඉන්පසු සැහැල්ලු ශරීර ඇත්තේ අත්ලෙන් ශරීරාවයව පිරිමදිමින් ඒවේලෙහි මේ ප්රීති වාක්යය පහළ කෙළේය: “ඒ භාග්යවතුන් වහන්සේ මට මෙලෝ පරලෝ යන දෙලොවම වැඩෙන් අනුකම්පා කළ සේක.”
3. 2. 4.
සඞ්ගාමවත්ථු සූත්රය
125. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරහා කොසොල් රජුට විරුද්ධව යුද පිණිස කසීරට වෙත ගියේය.
පසේනදි කොසොල් රජද මගධාධිපති අජාසත් රජ සිවුරඟ සෙනග සරසා ෙවිරුද්ධව කසීරට වෙත ආයේයයි ඇසීය. පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙණ අජාසත් රජුට විරුද්ධව සටන් පිණිස කසීරටට ගියේය.
ඉන්පසු මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද යුද්ධ කළාහුය. ඒ යුද්ධයේදී මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජුන් පැරදවීය. පැරදී පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ගියේය.
එකල බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙණ සැවැත් නුවරට වැඩ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, වැඳ, එක්පස්ව හිඳ භාග්යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, මෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන පසේනදි කොසොල් රජුට විරුද්ධව සටන් පිණිස කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන මට විරුද්ධව යුධ පිණිස කසීරටට ආවේයයි’ ඇසීය. ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්ධව යුද පිණිස කසීරටට ගියේය. ඒ දෙදෙන එහි යුද කළහ.
ඒ යුදෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජ පැරදවීය. පැරදවීය. ස්වාමීනි, පැරදුනාවූ පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ආවේය.” යනුයි.
“මහණෙනි, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පව්කාර මිත්රයන් ඇති, පව්කාර යහළුවන් ඇති, පව්කාරයන්ටම නැමුණු කෙනෙක. එහෙත් මහණෙනි, පසේනදි කොසොල් රජ කල්යාණ මිත්රයන් ඇති, කල්යාණ යහළුවන් ඇති, යහපතටම නැමුණු කෙනෙක. මහණෙනි, අද මේ රැය පැරදුනු පසේනදි කොසොල් රජ දුකසේ සයනය කරන්නේය. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාරා මේ ගාථාවද වදාළසේක:
“දිනන තැනැත්තේ වෛරය (සතුරන්) රැස් කරන්නේය. පැරදුන තැනැත්තේ දුකසේ වසන්නේය. දිනුම් පැරදුම් දෙකම හැරදමා (කෙලෙස් දුරලීමෙන්) සන්සුන් තැනැත්තේ සැපසේ වසන්නේය.”