3. 1. 7.
7. අත්‍ථකරණ සූත්‍රය
118. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, විනිශ්චය ශාලාවෙහි නඩු විසඳීමෙහි යෙදී හුන් මම ධනයෙන් ආඪ්‍යවූද, බොහෝ සම්පත් ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන පිනවන බොහෝ දේ ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් ක්‍ෂත්‍රියයන්ද, මහාසාර කුලවල උපන් බමුණන්ද, මහාසාර කුලවල උපන් ගෘහපතීන්ද, කාම වස්තූන් නිසාම, කාම වස්තූන් මූලකාරන කොටම, කාම වස්තූන් කරණ කොටගෙනම, දැන දැන බොරු කියන්නවුන් දිටිමි. ස්වාමීනි, ඒ මට දැන් මේ සිත විය. එනම්:- මට දැන් මේ නඩු හලෙන් කම් නැත. මින් මතු භද්‍ර මුඛ නම් තැනැත්තේ නඩුහලෙහි පෙනී සිටීය” යනුයි.
“මහරජ, ධනයෙන් ආඪ්‍යවූද, මහත් ධන ඇත්තාවූද, මහත් වස්තු ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන වඩන බොහෝ වස්තු ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් යම් ඒ ක්‍ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද, කාම වස්තූ නිසාම, කාම වස්තූ මුල්කොටගෙනම, කාම වස්තූ කරණ කොටගෙනම, දැන දැන බොරු කියත්ද, ඒ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.”
කාම වස්තූන්හි ඇලුනාවූ, එහිම ගිජුවූ, කාමයන්හි මුළාවූ සත්ත්‍වයෝ කුසල් ඉම පැනයාම නොදකිත්. මත්ස්‍යයෝ තමන් ඇල්ලීමට බහා තිබෙන කෙමන යම්සේ නොදකිත්ද, එමෙනි. පසුව ඔවුන්ට කටුක දුක වෙයි. එහි විපාකයද ඉතා දරුණුය.”
3. 1. 8.
8. මල්ලිකා සූත්‍රය
119. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි මතුමහලට නැග සිටියේ වෙයි. එවිට කොසොල් රජ, “මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියකරන අන් කිසිවෙක් ලොව ඇත්තේදැ?”යි මල්ලිකා දේවියගෙන් ඇසීය.
“මහරජ, මටනම් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම නැත. ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් සිටීදැ” යි ඇසීය. “මල්ලිකාවෙනි, මටත් තමන්ට වඩා ප්‍රියවූ අනිකෙක් නැතැ” යි රජතෙම කීයේය.
ඉන්පසු කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එකත්පස්ව හිඳ මෙය කීයේය. “ස්වාමීනි, මම මල්ලිකා දේවිය සමග පහයේ මතු මහලේ සිටියෙමි. ‘මල්ලිකාවෙනි, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවක් ඇත්තේදැ’ යි ඇසීමි. මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවී තොමෝ, ‘මහරජ, මට තමන්ට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ඇත්තේදැ’ යි ඇසුවාය. ස්වාමීනි, මෙසේ අසනු ලැබූ මම, ‘මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් මටත් නැත්තේය’ යි මල්ලිකා දේවියට කීයෙමි” යි කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එවේලෙහි මේ ගාථාව වදාළේය.
“ලොව හැම දිසාවන්ම සෝදිසිකර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය. අනුන්ටද වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි. එහෙයින් තමන්ට හිත කැමති තැනැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”
3. 1. 9.
9. යඤඤ සූත්‍රය
120. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙත්. රජුගේ යම් ඒ දාසයෝ හෝ, දූත මෙහෙවර කරන්නෝ හෝ, කම්කරුවෝ හෝ වෙත්ද, ඔව්හුත් දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ හඬමින් වැඩ කරති.
එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිණ්ඩපාතය පිණිස සැවැත් නුවරට පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එක්පසෙක උන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, මෙහි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙති. රජුගේ දාසයෝද, පණිවුඩ කරුවෝද, කම්කරුවෝද, දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ අඬමින් වැඩ කෙරති,” යනුයි.