11. 2. 6.
6. යජමාන සූත්‍රය
262. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
පින් කැමතිව යාග කරන්නාවු, මතු භවයන්හි විපාක ගෙනදෙන පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් කවර කෙනෙකුන්ට දෙන ලද්ද මහත්ඵල වේද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
සිව්මගට පිළිපන්නෝද, (සෝවාන් ආදී) සිව් පෙලෙහි සිටියෝද, යන මේ (අෂ්ටාර්‍ය්‍යපුද්ගල) සඞ්ඝතෙම ඎජුය, ප්‍රඥාශීල සමාධීන් යුක්තය.
පුණ්‍යාර්ත්‍ථිව යාග කරන්නාවූ, මතු භවයෙහි විපාක ගෙන දෙන්නාවූ, පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් සඞ්ඝයාහට දෙනලද්ද මහත් විපාක ඇත්තේයි.
11. 2. 7.
7. වන්‍දනා සූත්‍රය
263. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ දහවල් විවේකය පිණිස වැඩිසේක් විවේකීවූ සේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙමේද, සහම්පතී බඹහුද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ වෙනවෙන දොරබාව (උළුවහු කණු) ඇසුරුකොට සිටියහ. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
දිනනලද (මාර) යුද්ධ ඇත්තාවූ, බහා තබන ලද බර ඇත්තාවූ, ණයගැති නොවූ මහා වීරයන් වහන්ස, නැගිටින්න. ලෝකයෙහි දහම් අමා දිය වස්වමින් ඇවිදින්න, නුඹවහන්සේගේ සිකද, පසළොස්වක් පොහෝ රාත්‍රියෙහි සඳ මෙන් මිදුනේය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ ඔය ලෙසින් නොවේ. දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ මේ ලෙසය:
‘දිනනලද (මාර) යුද්ධ ඇති, බහා තබන ලද බර ඇත්තාවූ, ණයෙන් මිදුනාවූ පින්වතුන් වහන්ස, නැගී සිටිනු වැනවි. ලෙව්හි (දහම් දෙසා නිවන් අමා වස්වමින්) ඇවිද්ද මැනවි. පින්වතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. ඒ අවබෝධකරන සත්ත්‍වයෝ ඇතිවන්නාහ.’
11. 2. 8.
8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය
264. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාර්‍ය්‍යයාට කථා කෙළේය. ‘යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදව. උයන් සිරි දකිනු පිණිස උද්‍යාන භූමියට යමු.”
මහණෙනි, මාතලී රථාචාර්‍ය්‍ය තෙම ‘එසේ යහපති ස්වාමීනි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ‘නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. ගමනට සුදුසු කල් දනුව’ යි සැලකෙළේය.
මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම වෛජයන්ත ප්‍රාසාදයෙන් බස්නේ ඇඳිලි බැඳ සියලු දිශාවන් වැන්දේය. මහනෙනි, ඉක්බිති මාතලී රථාචාර්‍ය්‍ය තෙම (ඒ දැක) ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය.
වේදත්‍රය හදාරන්නාවූ සියලු පොළෝතලවාසීහුද, ක්‍ෂත්‍රියයෝද, සතරවරම් මහරජහුද, පිරිවර (සෙසු) දෙවියෝද, ඔබට වඳිති. සක්දෙවිඳුනි, පිරිවර සහිතවූ යමෙකුට ඔබවහන්සේ වඳනෙහිද, ඒ තෙමේ කිනම් (යකෙක්ද?)
[ශක්‍රතෙම:]
වෙදත්‍රය පාරප්‍රාප්තවූ පෘථිවිතලවාසීවූ සියල්ලෝද, ක්‍ෂත්‍රියයෝද, සිවුවරම් මහරජදරුවෝද, පරිවාර සම්පන්නවූ සෙසු දෙවියෝද මට වඳිත්.
ඒ මමද ශීලයෙන් සමෘද්‍ධවූ, බොහෝ කලක් මුළුල්ලෙහි එකඟකළ සිත් ඇති, (දිවිහිමියෙන්) බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි යෙදී වසන්නාවූ පැවිද්දන් සකසා වඳිමි.
පින් කරන්නාවූ, සිල්වත්වූ, උපාසක ගුණයෙහි පිහිටියාවූ, යම් ගෘහස්ථකෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත්ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි.
(මාතලී මෙසේ කීය:)
සක්දෙවිඳුනි, යමකුන්ට නුඹවහනුසේ වඳිනෙහිද (ඔහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසව නම්වූ දෙව් රජුනි, යම් කෙනෙකුන්ට ඔබ වඳිනෙහිද මමත් ඔවුන් වඳිමි’ යි.
[තෙරවරු:]
මෙසේ කියා මඝ යන නම් ඇත්තාවූ, දෙව් ලොව දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුහිතෘවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම (සතර දිසාවන් හා සතර අනු දිසාවන්) වැඳ දෙවියන් අභිමුඛයෙහි දිව්‍ය රථයට නැංගේය.