11. 1. 8.
වෙරොචන අසුරින්ද සූත්‍රය.
254. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විවේකීවූ සේක් දහවල් විවේකයට වැඩිසේක. එකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේරෝචන අසුරේන්‍ද්‍ර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහ. පැමිණ, පිටිපස දොරබා සමීපයෙහි වෙන වෙනම සිටියහ. ඉක්බිති වේරෝචන දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය:
“බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.”
[ශක්‍රයා:]
“බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහ. ඉවසීමට වඩා උතුම් අර්‍ථයක් නම් නැත්තේය.”
[වෙරොචන:]
“සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිදි හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදිය සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු ඉටුවීම නිසාම හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.”
[ශක්‍රයා:]
“සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදී සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු නිසාම හොබනාහු වෙත්. ක්‍ෂාන්තියට වඩා උතුම් අර්‍ථයෙක් නම් නැත්තේය.”
11. 1. 9.
අරඤ්ඤායතන ඉසි සූත්‍රය.
255. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීහු වනයෙහි පන්සල්හි වෙසෙත්. මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙමේද සිල්වත් යහපත් දහම් ඇති ඒ ඎෂීන් වෙත පැමිණියාහ.
“මහණෙනි, එවිට වේපචිත්ති අසුරිඳු තෙම කීප පටකින් යුත් පාවහන් පැළඳ, කඩුව උරෙහි එල්ලා ගෙන, කුඩය දරමින් ප්‍රධාන දොරින් පන්සලට පැමිණ, ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීන්ට ගරුසරු නොදක්වා ඉක්ම ගියෝය.
“මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම කීප පටකින් යුත් පාවහන් ඉවත්කොට, කඩුව අන්‍යයන්ට දී, කුඩය අකුලා තබා (කුඩා) දොරින්ම පන්සලට පිවිස ඒ සිල්වත් ගුණවත් ඎෂීන් ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය. “මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය.
“බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ වත් ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමයි. දහසක් ඇස් ඇති ශක්‍රය, මෙයින් (මේ වාතය හමන දෙසින්) ඉවත් වෙව. දේවේන්‍ද්‍රය, ඎෂීන්ගේ සිරුරු ගඳ අපිරිසිදුය.”
(ශක්‍ර තෙම මෙසේ කීය.) “බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ ව්‍රත ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමා වා. ස්වාමීනි, මේ ගන්‍ධය අප හිසෙහිවූ විසිතුරු මල් ඇති මල්දමක් මෙන් කැමැත්තෙමු. මෙහි (සීලවන්තයන්ගේ ගන්‍ධයෙහි) දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නොවෙත්.
11. 1. 10.
ඉසයො සමුද්දක සූත්‍රය.
256. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු මුහුදු තෙර පන්සල්හි වෙසෙත්.
“මහණෙනි, එසමයෙහි වනාහි දෙවි අසුර යුද්‍ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීන්ට මේ අදහස විය: ‘දෙවියෝ ධාර්මිකයෝය. අසුරයෝ අධාර්මිකයෝය. අපට අසුරයන්ගෙන් බියෙක් විය හැකිය. අපි සම්බර අසුරිඳු වෙත පැමිණ අභයදානය (භය නැතිකිරීම) ඉල්ලන්නෙමු නම් මැනව.’
“මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු වීර්‍ය්‍ය ඇත්තෙක් හැකුළූ අත දික් කරන්නේ හෝ දික්කළ අත හකුළන්නේ හෝ යම්සේද, එසේම මුහුදු තෙර පන්සලින් අතුරුදන්ව සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළවූහ. “මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ගාථායෙන් මෙසේ කීහ:
“සම්බර කරා පැමිණි ඎෂීහු අභයදානය ඉල්වත්. ඔවුන්ට භය දෙන්නට හෝ අභය දෙන්නට හෙතෙම පොහොසති.”
(සම්බර අසුරයා මෙසේ කීය:) ‘අපට විරුද්‍ධවූ ශක්‍රයා සේවනය කරන්නාවූ මේ ඎෂීන්ට භයක් මුත් අභයක් නැත. නිර්භය ඉල්ලන්නාවූ තොපට බියක්ම දෙමි.’
(ඎෂීහු මෙසේ කීහ:) නිර්භය ඉල්ලන්නා අපට භයක්ම දෙන්නෙහිය. තාගේ මේ කීම පිළිගනිමු. තගේ බිය ක්‍ෂය නොවේවා.
(යමෙක්) යම්බඳු බිජුවටක් වපුරාද එබඳුමවූ ඵලයක් (හෙතෙම) ලබයි. යහපත් දේ කරන්නා යහපතද, පව් කරන්නා පාප විපාකද ලබයි. දරුව, තා විසින් බීජයක් වපුරණ ලද්දේය. එහි ඵලය විඳින්නෙහිය.’