11. 1. 6.
කුලාවක සූත්‍රය.
252. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්‍ධයක් ඇතිවිය. මහණෙනි, ඒ යුද්‍ධයෙහි අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.
“මහණෙනි, පැරැදුන දෙවියෝ උතුරු දෙස බලා පලා ගියහ. අසුරයෝ ඔහු ලුහු බැන්දාහ. “මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම මාතලී රථාචාර්‍ය්‍යයාට ගාථායෙන් (මෙසේ කීය.)
“මාතලිය, ඉඹුල් වෙනෙහි (ගුරුළු) කූඩු වෙති. (ඔවුන්) රියදඬු හිසින් පහකරව. අසුරයන් කෙරෙහි ඒකාන්තයෙන් ජීවිතය හරිමු. මේ කුරුල්ලෝ විනාශනුවූ කූඩු ඇත්තෝ වෙත්වා.” (කුරුල්ලන්ට හානියක් නොවනසේ වගබලාගනුව යන තේරුමයි.)
“මහණෙනි, ‘පින්වත, එසේ යහපතැ’ යි මාතලී රථාචාර්‍ය්‍යයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට උත්තර දී ආජන්‍ය අශ්වයන් දහසකින් යුත් රථය ආපසු හැරවීය.
“මහණෙනි, ඉක්බිතිව අසුරයන්ට මේ අදහස වීය. “දැන් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ආජන්‍ය අශ්වයන් දහසක් යෙදූ රථය ආපසු හරවන ලදී. ඒකාන්තයෙන් දෙවියෝ නැවතත් අසුරයන් සමග යුද්ධයට එන්නාහ.’ (මෙසේ සිතා) බිය වූවෝ අසුර පුරයටම (නැවත) ගියහ.
“මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්‍ද්‍රයාට ධර්‍මයෙන්ම ජය විය.”
11. 1. 7.
න දුබ්භිය සූත්‍රය.
253. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. (වරක්) රහසිගතවූ, හුදෙකලාවූ ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙසේ සිතිවිල්ලක් පහළවිය. ‘යමෙක් මට සතුරු වන්නේද, ඔහුට වුවද මම විරුද්‍ධකම් නොකරන්නෙමි’ (කියායි.’
“මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සිතිවිල්ල තම සිතින් දැන ශක්‍ර දේවේන්‍ද්‍රයා වෙත ගියේය.
“මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරේන්‍ද්‍රයා එන බව දුරදීම දුටුවේය. දැක වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට මෙසේ කීය. “සිටින්න, වේපචිත්ති අසුරේන්‍ද්‍රය. තා අල්ලා ගන්නා ලද්දේවෙහිය.
“නිදුකාණෙනි, තාගේ යම්බඳුවූම සිතෙක් පෙරවීද, නිදුකාණෙනි, ඔබ එය දැන් දුරු කෙළෙහිද?” “වේපචිත්තිය, මා කෙරෙහි විරුද්‍ධකම් නොකරන බවට දිවුරව” යි (ශක්‍රයා කීය.)
“බොරු කියන්නාහට යම් පාපයක් ඇද්ද, රහතුන්ට නින්දා කරන්නාහට යම් පාපයක් ඇද්ද, මිත්‍රදොා්හියකුට යම් පාපයක් ඇද්ද, කළගුණ නොදත්තාට යම් පාපයක් වේද, සුජම්පතිය, යුෂ්මත්හට යමෙක් විරුද්‍ධකම් කෙරේ නම් හෙතෙම එවැනිවූ පවක් කරගනී.” (වේපචිත්ති කිය.)
11. 1. 8.
වෙරොචන අසුරින්ද සූත්‍රය.
254. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විවේකීවූ සේක් දහවල් විවේකයට වැඩිසේක. එකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේරෝචන අසුරේන්‍ද්‍ර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහ. පැමිණ, පිටිපස දොරබා සමීපයෙහි වෙන වෙනම සිටියහ. ඉක්බිති වේරෝචන දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය:
“බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.”
[ශක්‍රයා:]
“බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහ. ඉවසීමට වඩා උතුම් අර්‍ථයක් නම් නැත්තේය.”
[වෙරොචන:]
“සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිදි හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදිය සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු ඉටුවීම නිසාම හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.”
[ශක්‍රයා:]
“සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදී සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු නිසාම හොබනාහු වෙත්. ක්‍ෂාන්තියට වඩා උතුම් අර්‍ථයෙක් නම් නැත්තේය.”
11. 1. 9.
අරඤ්ඤායතන ඉසි සූත්‍රය.
255. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීහු වනයෙහි පන්සල්හි වෙසෙත්. මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙමේද සිල්වත් යහපත් දහම් ඇති ඒ ඎෂීන් වෙත පැමිණියාහ.
“මහණෙනි, එවිට වේපචිත්ති අසුරිඳු තෙම කීප පටකින් යුත් පාවහන් පැළඳ, කඩුව උරෙහි එල්ලා ගෙන, කුඩය දරමින් ප්‍රධාන දොරින් පන්සලට පැමිණ, ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීන්ට ගරුසරු නොදක්වා ඉක්ම ගියෝය.