11. 1. 3.
ධජග්ග සූත්‍රය.
249. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට (මෙසේ) කථාකර කීවේය: ‘ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
“ ‘ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
“ ‘ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
“ ‘ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.’
“මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ද්වේෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. (හෙතෙම) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, (එහෙයිනි.)
“මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම (මෙසේ) සිහිකරව් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්‍ධ වනසේක, භාග්‍යවත් වනසේක’ (කියායි.) මහණෙනි, (මෙසේ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.’
“ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය (මෙසේ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. (ඒ ධර්‍මය) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ‘එව බලව’ යි කීමට සුදුසුය, (භාවනා වශයෙන්) තම සිත්හි පැමිණවීමට (දරා ගැනීමට) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය’ (කියායි,) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.’