10. 1. 10.
10. (දෙවෙනි) සුක්කා සූත්‍රය
244. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි වනාහි එක්තරා උපාසකයෙක් සුක්කා භික්‍ෂුණියට ආහාරයක් දුන්නේය. ඉක්බිති සුක්කා භික්‍ෂුණිය කෙරෙහි බොහෝ සේ පැහැදුනු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ඒ වේලායෙහි මේ ගාථාව කීය:
“සියලු බන්‍ධනවලින් හාත්පසින් මිදුනාවූ සුක්කා මෙහෙණින් වහන්සේට යමෙක් ආහාර දුන්නේද, පණ්ඩිතවූ ඒ මේ උපාසකතෙම බොහෝ වූම පිණක් රැස් කෙළේය.”
10. 1. 11.
11. වීරා (චීරා) සූත්‍රය
245. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි එක්තරා උපාසකයෙක් චීරා භික්‍ෂුණියට සිවුරක් දුන්නේය. ඉක්බිති චීරා භික්‍ෂුණිය කෙරෙහි බොහෝ සේ පැහැදුනු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මේ ගාථාව කීය:
“සියලු (බන්‍ධන) වලින් මනාව මිදුනාවූ චීරා මෙහෙණින්නට යමෙක් සිවුරක් දිනීද, ඒ මේ උපාසකතෙම ඒකාන්තයෙන් පණ්ඩිතය, ඒකාන්තයෙන් බොහෝ වූ පිණක් රැස් කෙළේය.”
10. 1. 12.
12. ආළවක සූත්‍රය
246. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර අළව්යකුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට “මහණ, නික්මෙව” යි කීය. “මැනවි, ඇවැත්නි” යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. “මහණ. ඇතුල්වෙව” (යි ආළවකයා කීය.) “ඇවැත්නි මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.
දෙවෙනුවත් ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට “මහණ, නික්මෙව” යි කීය. “ඇවැත්නි මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. “මහණ. ඇතුල්වෙව” යි (ආළවකයා කීය.) “ඇවැත්නි මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක. තුන්වෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට “මහණ, නික්මෙව” යි කීය. “ඇවැත්නි මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. “මහණ. ඇතුල්වෙව” යි (ආළවකයා කීය.) “ඇවැත්නි මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක. සතරවෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට “මහණ, නික්මෙව” යි කීය. “ඇවැත්නි, මම නොනික්මෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව” (යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
[ආළවක:]
“මහණ, තා අතින් ප්‍රශ්නයක් අසමි. ඉදින් එය මට නොවිසඳියේ නම් තාගේ සිත හෝ කළඹන්නෙමි. තාගේ හෘදය හෝ පළන්නෙමි. පාදයෙන් අල්ලා ගඟින් එතර හෝ දමන්නෙමි” (යි ආළවකයා කීය.).
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, බමුණන් සහිත ලොව දේව මනුෂ්‍ය ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත කළඹන්නේ හෝ හෘදය පළන්නේ හෝ පාදයෙන් ගෙන මහ ගඟින් එතර දමන්නේ හෝ වේද, එබන්දකු මම නොදකිමි. එසේ වුවද, ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි, නම් එය අසව.”
ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
“මෙලෙව්හිවූ පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය නම් කුමක්ද? පුරුදුකළාවූ කුමක් සැප ගෙන දෙන්නේද? කෙසේ ජීවත්වන්නකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද?