10. 1. 1.
1. ඉන්දක සූත්රය
235. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්දකූට පර්වතයෙහි ඉන්දක නම් යක්ෂයාගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති ඉන්දක යක්ෂතෙම වනාහි භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය.
“සම්බුදුවරයෝ රූපය ජීවය නොවේයයි කියති. ඉදික් මේ (සත්ත්වවකෙම) මේ සිරුර කෙසේ නම් විඳීද? මේ සත්ත්වයාගේ ඇට හා මස්පිඬු කොයි සිට ඒද? මේ (සත්ත්වතෙම) කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?”
[භාග්යවතුන් වහන්සේ:]
“පළමුව ප්රතිසන්ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අර්බුදය වේ, ඒ අර්බුදයෙන් පේශිය හට ගනී, ඒ පේශියෙන් ඝන නම් මස්පිඩක් හටගණී. ඒ ඝන නම්වූ මස්පිඩෙන් පිළික පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොම්ද. නියද හටගණී.
“ඔහුගේ මව යම් ආහාරයකුත් යම් පානයකුත් යම් බොජුනකුත් වළඳාද, මව් කුසට පැමිණි ඒ සත්ත්වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මව් කුසෙහි යැපෙයි.”
10. 1. 2.
2. සක්ක සූත්රය
236. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. ඉක්බිති සක්ක නම් යක්ෂතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
“පැහැ දැමූ සියලු කෙලෙස් ගැට ඇති, සසරින් විශේෂයෙන් මිදුනාවූ, ශාන්තවූ ඔබට අනුන්ට අනුශාසනා කිරීම නොහොබී.”
[භාග්යවතුන් වහන්සේ:]
“සක්කය, යම් කිසි කරුණක් නිසා එක්ව විසීම ඇතිවේද, ප්රඥා සහිතවූ (සම්බුද්ධ තෙම) එයට සිතින් අනුකම්පා කරන්නට නොවටී.
“එහෙත් ප්රසන්න සිතින් යුතුව අනුන්ට යම් අනුශාසනා කිරීමක් වේද, ඒ කාරණයෙන් (බැඳීමක් ඇති නොවේ.) එබඳු අනුශාසනය අනුකම්පාවයි. කරුණාවයි.”
10. 1. 3.
3. සුචිලෝම සූත්රය
237. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්ෂයාගේ භවනයෙහි ටඞ්කිතමඤ්චකයෙහි වැඩවසන සේක. එකල වනාහි ඛර යක්ෂයාද, සුචිලෝම යක්ෂයාද භාග්යවතුන් වහන්සේ වැඩසිටි තැනට නුදුරෙහි ගමන් කෙරත්.
ඉක්බිති ඛර යක්ෂතෙම සුචිලෝම යක්ෂයාට මෙය කීය: “මේ තෙම ශ්රමණයෙකි.”
“මේ තෙම ශ්රමණයෙක් නොවේ. භයින් පලායන ශ්රමණ ප්රතිරූපකයෙකි. මේ තෙම ශ්රමණයෙක්ද, ශ්රමණ ප්රතිරූපකයෙක්දැයි සොයා බලන්නෙමි.” ඉක්බිති සුචිලෝම යක්ෂතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට කය එළවිය, (ඒ දෙසට කය නැමීය.)
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ස්වකීය සිරුර ඉවත් කළ සේක.
සුචිලෝම යක්ෂතෙම භාග්යවතුන් වහන්සේගෙන් “ශ්රමණය, මට බිය වෙහිදැ” යි ඇසීය.
[භාග්යවතුන් වහන්සේ:]
“ඇවැත්නි, මම තට බිය නම් නොවෙමි. එසේ වුව තාගේ ස්පර්ශය නපුරැ” යි (වදාළ සේක.)
[සූචිලෝම:]
“මහණ, තාගෙන් ප්රශ්නයක් අසන්නෙමි. ඉදින් මහණ, මට ඒ නොවිසඳන්නෙහි නම්, තාගේ සිත හෝ කලබල කරන්නෙමි. තාගේ හෘදය හෝ පළා දමන්නෙමි. තා පාදයෙන් හෝ ගෙන ගඟින් එතෙර දමන්නෙමි” යි (කීය.)
[භාග්යවතුන් වහන්සේ:]
“ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්රමණබ්රාහ්මණයින් සහිත, දෙවිමිනිසුන් සහිත, ලෝකයෙහි යමෙක් මාගේ සිත හෝ කලබල කරන්නේද, හෘදය හෝ පළන්නේද, පාදයෙන් හෝ ගෙන ගඟෙන් එතර හෝ දමන්නේද එවැන්නකු මම නොදකිමි. එසේද වුව ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි නම් එය අසව.”