3. ඡත්ත මානවක විමාන කථාව
“මනුෂ්‍යයන් අතරෙහි යම් කෙනෙක් කියන්නවුන්ට ශ්‍රේෂ්ඨද කරනලද වැඩ ඇති ශාක්‍ය මුනීවූ භාග්‍යවතුන් වහන්සේ බලයෙන් හා වීර්යයෙන් යුක්ත වූයේ පරතෙරට ගියේ වේද ඒ ඒ සුගතයන් වහන්සේ පිහිට කොට ගනුව.
“රාගයෙන් වෙන්වූ තෘෂ්ණා රහිත ශොක නැති, (ප්‍රත්‍යයන්) රැස් නොකරන ලද, ප්‍රිය භාවය කරන, මිහිරිවූ ප්‍රගුණවූ, යහපත් කොට බෙදන ලද යම් ලොකොත්තර ධර්මයක්වේද, මේ ධර්මය පිහිට කොට ගනුව,
“යම් තැනෙක්හි දෙනලද්ද මහත් ඵලයයි කීවාහුද, පිරිසිදු පුරුෂ යුග සතරෙක්හිවූ ඔව්හු පුද්ගලයන් වශයෙන් අට දෙනෙක්වූ මේ සංඝයා පිහිට වශයෙන් ගනුව,
“අහසෙහි සූර්යයා එසේ නොබබළාද, සඳද නොබබළාද, පුසේ නැකත්තරුවද නොබබළාද යම්සේවූ, අසමාන මහත් ආලෝකයවූ, තවුතිසා දෙව්ලොවින් පොළොවට පැමිණි නුඹ කවරෙක්ද?
“පිරිසිදුවූ නිර්මලවූ යහපත්වූ විමානය සූර්යයාගේ රැස් යටපත් කරයි. විසි යොදුනකට වඩා ආලෝකය වේ. රාත්‍රියෙහිද දවාලක් මෙන් කරයි.
“බොහෝ පියුම්, විසිතුරු මහනෙල්, ආදී නොයෙක් අලංකාර මලින් ගැවසුණ, රජස් නැති පිරිසිදු රන් දැලින් ගැවසුණ අහසෙහි සූර්යයා සේ බබළයි.
“රතු කහ වස්ත්‍රවලින් යුක්තවූ අගිල් පුවඟු සඳුන් රාශිවලින් පිරුණු රන් ශරීරයක් වැනි සිවියෙන් තාරකාවන්ගෙන් පිරුණු අහස මෙනි.
“නොයෙක් වර්ණයෙන් යුත් ස්ත්‍රී පුරුෂයෝ මෙහි බොහෝ වෙත්. මෙහි මලින් අලංකාරවූ ආභරණ ඇත්තාහ. මල් වාතයෙන් මුදන ලදුව සුවඳ වහනය කරත්. ආලෝක පතුරුවන රන් වස්ත්‍රය.
“කිනම් කෙලෙස් සංයමයක ඉන්ද්‍රිය දමනයක මේ විපාකයද, කිනම් කර්ම ඵලයකින් මෙහි උපන්නේද, තා විසින් මේ විමානය යම්සේ ලබන ලදද එහෙයින් දැන් විචාරණ ලද මට වචනයක් පාසා කියනු මැනව”
“ශාස්තෲන් වහන්සේ මේ මාර්ගයෙහි මාණවකයකු හමුවී අනුකම්පාවෙන් යමක් අනුශාසනා කළේද, ශ්‍රේෂ්ඨ රත්නයවූ ඔබවහන්සේගේ ධර්මය අසා ඡත්තතෙම එය පිළිගන්නෙමැයි” කියේය.