8. 9.
පඨම දබ්බ සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන නම්වූ කලන්දකනිවාපයෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මල්ලරාජ පුත්‍රවූ දබ්බ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූම මල්ල රජුගේ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට “සුගතයන් වහන්ස, දැන් මාගේ පිරිනිවන්පාන කාලයයි” යන මේ වචනය කීයේය. “දබ්බයෙනි, තෝ යම් ගමනකට කල් සිතන්නෙහිද, දැන් එයට කලැයි” වදාළ සේක.
2. ඉක්බිති මල්ල රාජ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ ස්ථවිර තෙම හුනස්නෙන් නැගීසිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට අහසට පැනනැගී ඉහළ අහසෙහි බද්ධපර්යංකයෙන් වැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැද (ඉන්) නැගිට පිරිනිවියේය. ඉක්බිති අහසට නැගී ඉහළ අහසෙහි බද්ධපර්යංකයෙන් වැඩහිඳ තෙජොධාතු කසිණ සමාපත්තියට සමවැද ඉන් නැගිට පිරිනිවියාවූ මල්ල රජුගේ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ ස්ථවිරයන්ගේ සිරුරට ගිනි ඇවුලුණු කල්හිද ගිනි නිවීගිය කල්හිද හලු නොපැමිණි නම් දැලි නොපැමිණිනම් යම්සේ වනාහි ගිතෙල් හෝ තල තෙල් හෝ ගිනි ඇවිල ගත්තාවූද, ගිනි නිවුනාවූද කල්හි හලු නොපෙණේද, අඳුන් නොපෙණේද, එපරිද්දෙන්ම අහසට පැන නැගී ඉහළ අහසෙහි පලගින් වැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැද (ඉන්) නැගිට පිරිනිවියාවූ මල්ල රාජ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ තෙරුන්ගේ ගිනි ඇවිලෙන්නාවූද ගිනිදැල් පහව ගියාවූද සිරුර පිළිබඳ හලු නොපෙණුනේය. දැලි නොපෙණුනේය.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දබ්බ තෙරුන් අනුපාදා පරිනිර්වානය සියලු අයුරෙන් දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක:
“රූපකයෙක් වීද, නිරුද්ධ වීය. සංඥාවෝ නිරුද්ධ වීය. වේදනාවෝ සිහිල් වූහ. සියලුම සංස්කාරයෝ විශේෂයෙන්ම සංසිඳුනාහුය. සියලු විඤ්ඤාණය විනාසයට ගියේයයි.”
8. 10.
දුතිය දබ්බ සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු “පින්වතුන් වහන්සැයි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, දබ්බ මල්ලපුත්‍රයන් අහසට පැන නැගී අහසේ ඉහළ පළක් බැඳවැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැද ඉන් නැගිට පිරිනිවියාවූ කල්හි සිරුර ගිනි ඇවිලෙද්දීද ගිනි නිවෙද්දීද හලු නොමපෙණින, අඳුන් නොමපෙණින, යම්සේ වනාහි ගිතෙල් වේවයි තලතෙල් වේවයි ගිනි ඇවිලෙද්දීද ගිනි නිවෙද්දීද හලු නොමපෙණේද, අඳුන් නොමපෙණේද, මහණෙනි, එපරිද්දෙන්ම දබ්බ මල්ලපුත්‍රයන් අහසට පැනනැග උස් අහසෙහි එරමිණිය ගොතා වැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යානයට සමවැද (ඉන්) නැගිට පිරිනිවියාවූ කල්හි සිරුරට ගිනි ඇවිලෙද්දීද හලු නොපෙණුනේය. දැලි නොපෙණුනේයයි.”
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි මේ කාරණය දැන ඒ කරුණ පහළ කරණ මේ උදන් පහළ කළ සේක:
“යම්සේ යකුළු ගසන ලද්දාවූ ලොහෝ භාජනාදීගතවූ ශබ්දයන් හෝ දැල්වෙන ගින්න ක්‍රමයෙන් සන්සිඳුණු ගිය තැන නොදන්නා ලැබේද,
එපරිද්දෙන්ම මනාව මිදුණාවූ කාමප්‍රබන්ධයයි කියනලද කාමොඝ භවොඝාදී භෙදවූ ඉතිරි ඕඝයද තරණයකොට සිටි බැවින් කාමබන්ධ ඕඝයන් තරණය කළාවූ නිශ්චලවූ සුවයට පැමිණියාවූ ක්ෂීණාශ්‍රවයන්ගේ ගතියක් පණවන්නට නැත.”
අටවන පාටලී ගාම වර්ගය නිමි.
එහි උද්දානය:
“නිර්වාණ සූත්‍ර සතරක්ද, චුන්ද, පාටලිගාමිය, ද්විධාපථ, විශාඛා හා දබ්බ සූත්‍ර දෙක සමඟ දසයකි.”
“බෝධි වර්ගය පළමුවැන්නයි. මුචලින්ද වර්ගය දෙවැන්නයි. නන්දක වර්ගය තෙවැන්නයි. මේඝිය වර්ගය සිව්වැන්නයි.”
“සොණ වර්ගය පස්වැන්නයි. ජච්චන්ධ වර්ගය සයවැන්නයි. චූළ වර්ගය සත්වැන්නයි. පාටලිගාමිය වර්ගය අටවැන්නයි.”
“මෙහි සූත්‍ර අසූවකි. වර්ග අටකට බෙදා ඇත. දහම් ඇස් ඇති නිර්මල බුදුරදුන් විසින් දෙසූ හෙයින් මෙය උදාන යැයි කියනු ලැබේ.”
උදානය නිමි.