8. 3.
3. (තෘතීය) නිර්වාණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන හා බැඳුණු දැහැමි කතාවෙන් කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඒ භික්ෂූහුද අර්ථය දැන, මෙනෙහි කොට, සියලු සිතින් යොමුකොට, කන් යොමා දහම් අසති.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ අර්ථය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක.
“මහණෙනි, නූපන්නාවූ නොවූ නොකරණ ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ නිවන ඇත්තේය. මහණෙනි. නොඋපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ එක්ව නො සකස්කරන ලද්දාවූ නිවන ඉදින් නොවීනම් උපන්නාවූ එක්ව සකස්කරන ලද්දාවූ මේ නොපැවැත්ම නො පෙණෙන්නේය, මහණෙනි, යම්හෙයකින් වනාහි නූපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ, පිළියෙළ නොකරණ ලද්දාවූ නිවන ඇත්තේද, එහෙයින් උපන්නාවූ කරනලද්දාවූ පිළියෙළ කරන ලද්දාවූ නොපැවැත්ම පෙනෙන්නේයයි.”
8. 4.
4. (චතුර්ථ) නිර්වාණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන හා බැඳුණු දැහැමි කතාවෙන් කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඒ භික්ෂූහුද අර්ථය දැන, මෙනෙහි කොට, සියලු සිතින් යොමුකොට, කන් යොමා දහම් අසති.
එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ විසින් මේ අර්ථය දැන මේ ප්රීතිවාක්යය ප්රකාශ කළසේක:-
“(රූපාදී සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටීන් විසින්) ඇසුරුකළහුගේ සැලුනේ වෙයි. සැලීම වෙයි. ඇසුරු නොකළාවූ ඔහුගේ සැලීමෙක් නැත. (යථොක්ත) සැලීම නැති කල්හි සංසිඳීම ඇතිකල්හි (භවයෙහි) ඇලීම තෘෂ්ණාව ඊමෙක්ද යාමෙක්ද නොවේ. යාමද නැති කල්හි (ඔබිනොබ) චුති උත්පත්ති දෙක නොවේ. චුති උත්පත්ති දෙක නැති කල්හි මේ ලෙව්හි නොවේ. පරලෙව්හි නොවේ. මේ නිවනම ක්ලේශ දුඃඛයේද වෘත්තදුඃඛයේද කෙළවර වන්නේය.”
8. 5.
5. චුන්ද සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකාව කරනසේක් මහබික්සඟන සමග පාවා නම් නුවර යම් දිශාවෙක්හිද ඒ මගට වන්සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පාවා නුවර සමීපයෙහිවූ චුන්ද නම් කර්මාර පුත්රයාගේ අඹවන (වෙහෙරෙහි) වැඩවසනසේක.
චුන්ද නම් ස්වර්ණකාර පුත්රතෙමේ භාග්යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙමින් මහත් භික්ෂු සංඝයා සමග නගරයට පැමිණිසේක් පාවානුවර වෙත වූ මාගේ අම්බවනාරාමයෙහි වැඩවසනසේක්ල’යි ඇසූයේමය. ඉක්බිති ස්වර්ණකාරයාගේ පුත්රවූ චුන්දතෙමේ භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ එකත්පසෙක හිඳගත. එකත්පසෙක හුන්නාවූම සුවන්කරු පුත්වූ චුන්දයාට භාග්යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් (නිවන) මනාව දැක්වූසේක. මනාව උත්සාහ කරවූසේක. මනාව සිත පිරිසිදු කරවූසේක.
ඉක්බිති චුන්ද නම් සුවන්කරුගේ පුත්රතෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් මනාව දක්වන ලද්දේ, මනාව ගන්වන ලද්දේ (එහි) උත්සාහ දන්වනලද්දේ (නිර්වාණ ගුණයෙන්) මනාව සතුටු කරවන ලද්දේ “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ බික්සඟන සමග සෙට දවසෙහි මාගේ බත ඉවසනසේක්වායි” භාග්යවතුන් වහන්සේට මේ වචනය කීයේය. භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසා වදාළසේක. එකල්හි වනාහි චුන්ද නම් ස්වර්ණකාර පුත්රතෙම භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියේය.
ඉක්බිති රන්කරුගේ පුත් චුන්දතෙමේ ඒ රාත්රියගේ ඇවෑමෙන් සිය නිවසෙහි ප්රණීතවූ කැවිලිද, බොජුන්ද බොහෝ මොළොක් සිනිඳු හතු පිළියෙළ කරවා “ස්වාමීනි බත නිමියේය. (දනට) කල් වන්නේ” යයි භාග්යවතුන් වහන්සේට කල් දන්වා යැවීය. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පා සිවුරු රැගෙන භික්ෂු සංඝයා සමග චුන්ද නම් කර්මාර පුත්රයාගේ ගෙය යම් තැනෙකද එතැනට වැඩි සේක. වැඩ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. භාග්යවතුන් වහන්සේ වැඩහිඳ චුන්ද නම් ස්වර්ණකාරයා අමතා: “චුන්දයෙනි, තොප යම් හතුමද්දවයක් පිළියෙළ කරන ලද්දේද, එයින් මා වළඳව, අන්යවූ ඛාද්යයක්, භොජ්යයක් පිළියෙළ කරණ ලද්දේද, එයින් භික්ෂු සංඝයා වළඳව”යි වදාළසේක.