7. 1.
1. ලකුණ්ටක භද්දික සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරතෙම ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන්ට නොඑක් කාරණයෙන් දැහැමිකතාවෙන් මනාව දක්වයි, මනාව ගන්වයි, මනාව තියුණු කරවයි, මනාව ප්රීතිකරවයි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් නොඑක් කාරණයෙන් දැහැමිකතාවෙන් දක්වනු ලබන්නාවූ ගන්වනු ලබන්නාවූ මනාව පිරිසිදු කරවනු ලබන්නාවූ මනාව සතුටු කරවනු ලබන්නාවූ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ සිත උපාදාන රහිතව ආශ්රවයන්ගෙන් මිදුණේය. භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් නොඑක් කාරණයෙන් ධාර්මික කථාවෙන් මනාව දක්වනු ලබන්නාවූ මනාකොට ගන්වනු ලබන්නාවූ, මනාව පිරිසිදු කරවනු ලබන්නාවූ, මනාව සතුටු කරවනු ලබන්නාවූ, උපාදාන වශයෙන් නොගෙන ආශ්රවයන්ගෙන් සිත මිදුනාවූ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් දුටුසේක්මය.
2. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක:
“(යමෙක්) උඩයට සියලු සංස්කාරයෙහි මිදුනේ වේද, අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද කාමාදි සියලු භවයෙහිද හැම භවයෙහිද මිදුනේවේද, පුද්ගලතෙම නොබලයි, නොමදක්නේය, මෙසේ මිදුනාවූ රහත්තෙම අනුපාදිශෙෂ නිර්වානධාතුව පිණිස එතෙර කෙළේයයි.”
7. 2.
2. (සෙක්ඛ) ලකුණ්ටක භද්දිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙම ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් ශෛක්ෂයෙකැයි හඟිමින් ප්රමාණය ඉක්මවා වැඩියක් නොඑක් කාරණයෙන් දැහැමිකතාවෙන් මනාව දක්වයි, මනාව ගන්වයි, මනාව පිරිසිදු කරවයි, මනාව සතුටු කරවයි. භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් හික්මෙන්නෙකැයි හඟිමින් ප්රමාණය ඉක්මවා වැඩියක් නොඑක් කාරණයෙන් දැහැමි කතාවෙන් මනාව දක්වන්නාවූ මනාව සමාදන් කරවන්නාවූ මනාව පිරිසිදු කරවන්නාවූ මනාව සතුටු කරවන්නාවූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුටුසේක්මය.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන්සේක්ම බුද්ධානුභාවයෙන් යම්සේ දම්සෙනෙවි සැරියුත් තෙර ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කෙලෙස් ක්ෂය කිරීම දැනගනීද (එසේ) ඒ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“(නිරවශෙෂයෙන් ක්ලෙශ) වෘත්තය සහමුලින් සින්දේය තෘෂ්ණාව නැති නිවනට විශේෂයෙන් පැමිණියේය. තෘෂ්ණා නමැති ගංගාතොමෝ නිරවශෙෂයෙන් වියලන ලදු, නොගලයි සිඳිනලද කමවට නොපවතී. එනොඉපදවීමම සියලු සසර දුකෙහි කෙළවරවේ.”
7. 3.
3. (ප්රථම) කාම සත්ත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සැවතෙහි මනුෂ්යයෝ බෙහෙවින් (වස්තු) කාමයන්හි වේලාව ඉක්මවා ඇලුනාහු වෙත් රැඳුනාහු ගිජුවූවාහු වෙත්, බැඳුනාහුවෙත්, මුළාවට පැමිණියාහු වෙත්, ගිලගෙන සිටියාහු බැසගත්තාහු වෙත්, කාමයන්හි ඇලීමට පැමිණියාහු වාසය කෙරෙත්. ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරවා පාත්ර සිවුරු රැගෙන සැවතට පිඬු පිණිස වන්හ. සැවතෙහි පිඬු සිඟා ඇවිද පස්වරුවෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූම ඒ භික්ෂූන් වහන්සේලා භාග්යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළාහුය: “ස්වාමීනි, මෙහි සැවතෙහි මනුෂ්යයෝ බෙහෙවින් කාමයන්හි වේලාව ඉක්මවා ඇලුනාහු වෙත්, රැඳුනාහු ගිජුවූවාහු වෙත්, බැඳුනාහුවෙත්, මුළාවට පැමිණියාහු වෙත්, ගිලගෙන සිටියාහු බැසගත්තාහු වෙත්, කාමයන්හි ඇලීමට පැමිණියාහු වාසය කෙරෙත්” යැයි.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළ සේක:
“යම් කෙනෙක් වස්තුකාමයන්හි ඇලුනාහුද වස්තුකාමයන්හි රාගසංගයෙන්ද දෘෂ්ටි මානද්වේෂ අවිද්යා සංගයන්ගෙන්ද ඇලුනාහුද සංයොජක නම් වූ කාමරාගාදී ක්ලෙශ සමූහයෙහි දෝෂය නොදක්නාහුද සංයෝජන නම්වූ සංගයෙන් ඒ සංගයනට විෂයවූ ත්රෛභූමක ධර්මයන්හි ඇලුනාහුද, මහත්වූද, පතළාවූද ඕඝය (නොහොත්) සංසාරොඝය තරණය නොකරන්නාහුය.”
7. 4.
4. (ද්විතීය) කාම සත්ත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සැවැත් නුවර මනුෂ්යයෝ බොහෝ සෙයින් කාමයන්හි ඇලුනාහු වෙති, ඉතා ඇලුනාහු වෙති, ගිජු වූවාහු වෙති, මුළා වූවාහු වෙති, ගිලගෙන සිටියාහු වෙති, අන්ධ වූවාහු මත් වූවාහු කාමයන්හි වාසය කෙරෙති. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරොවා පාත්ර, සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස වන් සේක. භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ඒ මිනිසුන් බොහෝ සෙයින් කාමයන්හි ඇලුනාවූ, ගිජු වූවාවූ, මුසපත් වූවාවූ, අන්ධ වූවාවූ, මත් වූවාවූ, කාමයන්හි වාසය කරන්නවුන් දුටු සේක්මය. (ඉක්බිති භාග්යවතුන් වහන්සේ සැවැතින් නික්ම දෙවුරමට වඩනාසේක් අතර මග අචිරවතී නදියෙහි කෙවුළන් අටවන ලද කෙමිනකට වැද නික්මෙන්නට නොහැකිවූ බොහෝ මසුන් දුටුසේක. ඉන් ඔබ්බෙහි කිරිබොන එක් වස්සෙකු හඬා ලුහුබැඳ කිරිබීම පිණිස බෙල්ල දික්කරගෙන මවගේ කළවා අතරට මුව එළවන්නාහු දුටු සේක.)
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ වෙහෙරට වැඩ පා සෝදා පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක්. මේ කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළ සේක:
“කාමයන්හි අන්ධවූ නුවණැස් නැතිකරන ලද්දාවූ සත්වයෝ සියුම් සිදුරු ඇති දැලකින් වට කරන ලද විලක්සේ දැලක් බඳුවූ තෘෂ්ණාවෙන් වැසුණාහු තෘෂ්ණා නමැති වැසිල්ලෙන් වැසුනාහු වෙත්. කෙමන් කටෙහි වන් මසුන් මෙන් ප්රමාදවූ සත්ත්වයන් අනර්ථයෙන් බඳින්නාවූ මාරයා විසින් බඳින ලද්දාහු වෙත්. කිරි බොන වස්සා මව අනුව යන්නා සේ ජරා මරණයට පැමිණෙත්.”