6. 8.
169. “සිත වසඟ නොවන කල්හි සිත එකමුතුවක් නොලැබ, නවවරක් විහාරයෙන් බැහැර ගියෙමි.
170. “භික්ෂුණිය, වෙතට පැමිණ සකසා ධර්මය විචාළෙමි. ඕතොම ධාතු ආයතන යුතු ධර්මය මට දේශනා කළාය.
171. “උත්තම අර්ථය (නිවන) පැමිණීම පිණිස චතුරාර්ය සත්‍යයද, ඉන්ද්‍රියන්ද, බලද, බොජ්ඣංගද, අෂ්ටාංගික මාර්ගයද (දේශනා කළාය).”
172. “ඇගේ වචනය අසා ඒ අනුශාසනාව කරන්නී රෑ මුල් යාමයෙහි පෙර ජාති සිහි කෙළෙමි.
173. “රාත්‍රි මධ්‍යම යාමයෙහි දිවැස ලදිමි. පශ්චිම යාමයෙහි අඳුරු කඳ නැසීමි.
174. “එකල්හි ප්‍රීති සැපය ශරීරය පුරා පතුරවා වාසය කෙළෙමි. අඳුර නසා සත්වැනි දවස පය දිගහැරියෙමි.”
මෙසේ විජයා ථෙරී ගාථාවන් දෙසුවාය.
විජයා ථෙරී ගාථා
ඡක්කනිපාතො නිට්ඨිතො.
7. සත්තක නිපාතය
7. 1.
175. “මේ මනුෂ්‍යයෝ මොහොල් ගෙණ ධාන්‍ය කොටති. අඹුදරුවන් වඩමින් ධනයද රැස්කරති.
176. “යමක්කොට පසු නොතැවේද ඒ බුද්ධ වචනයෙහි උත්සාහ කරව්. පා සෝදා එකත්පසෙක හිඳිව්.
177. “එකඟවූ ඉතා සන්සුන්වූ සිත නඟා වස්තූන් ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් පිළිවෙළින් සිහිකරව්.
178. “මම ඒ පටාචාරා තෙරණියගේ අනුශාසනා වචනය අසා පා සෝදා එකත්පසෙක සිටියෙමි.
179. “රාත්‍රි ප්‍රථම යාමයෙහි පෙර ජාති දැනීම ලදිමි. මැදි රෑ දිවැස ලදිමි.
180. “අළුයම අඳුරු කඳ නැසීමි. තුන් නුවණ ලබා නැඟී සිටියෙමි. ඔබගේ අනුශාසනාව කරණලදී.
181. “තව්තිසා වැසි දෙවියෝ යුද්ධයෙන් දිනූ සක්රජ පිරිවරා සිටින්නාක් මෙන් ඔබ පිරිවරා සිටිමි. තුන් නුවණ ඇත්තී වෙමි. පව් දුරලීමි.”
මෙසේ උත්තරා ථෙරී ගාථාවන් දෙසුවාය.
උත්තරා ථේරී ගාථා
7. 2.
182. “සිහිය මනාව පිහිටුවා වඩනලද ඉන්ද්‍රිය ඇත්තාවූ භික්ෂුණිතොම සියළු සංස්කාරයන් සන්සිඳුනු සැපවූ නිවන් පදය අත්කෙළේය.
183. “කවරකු උදෙසා කෙස් මුඩු කෙළෙහිද? මෙහෙණියක මෙන් පෙණෙහිද, පාසාණ්ඩයන් රුචි නොකෙරෙහිද, මේ කුමකට මුළාව හැසිරෙහිද?
184. “මින් බැහැරවූ පාසාණ්ඩවයෝ දෘෂ්ටීන් ඇසුරු කරති. ඔහු ධර්මය නොදනිති. ධර්මයෙහිත් දක්ෂයෝ නොවෙති.
185. “ශාක්‍ය වංශයෙහි උපන් කෙනෙකු හා සම නොවන බුදුවරයෙක් ඇත. හේ සියළු දෘෂ්ටීන් ඉක්මවන ධර්මය මට දෙසූහ.