6. 5.
151. “බොහෝ සම්පත් ඇති මහත් ධන ඇති උසස්වූ කුලයෙක උපන්නෙමි. පැහැයෙන් රූපයෙන් සම්පූර්ණවූ මම මේඝ නම් සිටුහට දුවක් වීමි.
152. “රාජපුත්‍රයන් විසින් පතනලදුව, සිටුපුත්‍රයන් විසින් කැමතිව මට අනොපමාව රඳවයි කියා මපියාණන් වෙතට දූතයන් එවූහ.
153. “ඔබේ දූ වූ මේ අනොපමාව යම් පමණකට කිරා බැලීමෙන් බරද, ඉන් අටගුණයක් රන් මැණික් දෙමි.”
154. “ඒ මම ලොවට උසස්වූ අත්‍යුත්තම බුදුන් දැක ඒ බුදුන්ගේ සිරි පතුල් වැඳ එකත්පසෙක හුන්නෙමි.
155. “ඒ ගෞතම සර්වඥයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූ සේක. හුනස්නෙහිම අනාගාමී ඵලය ලදිමි.
156. “ඉන්පසු ඉස කෙස් කපාහැර සස්නෙහි පැවිදිවීමි යමකින් තෘෂ්ණාව වියලා අද මේ සත්වන රැය වෙයි.”
මෙසේ අනොපමා ථෙරී ගාථාවන් දෙසුවාය.
අනොපමා ථේරී ගාථා
6. 6.
157. “යමෙක් මා සසර දුකින් මිදූද, අන්‍ය සත්වයිනුත් සසර දුකින් මිදූද, සියළු සත්වයන්ට උතුම්වූ බුද්ධ වීරයන්වහන්ස, ඒ ඔබට නම ස්කාරය වේවා,
158. “සියළු දුක මා දැනිණි, සසරට හේතුවූ තෘෂ්ණාව වියලනලදී. ආර්ය අෂ්ටාංගිකමාර්ගවූ නිවන ස්පර්ශ කළාය.
159. “පෙර මවුව, පුත්ව, පියාව, සහෝදරයාව පසුව මිත්තණියද විය. මෙලෙස ඇත්ත නොදැන නොලැබ සසර සැරීමි.
160. “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නාලදී. මේ අන්තිම ශරීරයයි. ඉපදෙමින් හැසිරීම ක්ෂය විය. දැන් මතු ඉපදීමක් නැත.
161. “පටන්ගත් වීර්ය ඇති. කර්ම ක්ෂය කළ දැඩි පැරකුම් ඇති සමගිවූ ශ්‍රාවක සමූහයා දක්නෙම්ද, මේ බුදුවරයන්ට කරණ වන්දනාය.
162. “මහාමායා දේවීතොම බොහෝදෙනාට ඒකාන්ත වැඩ පිණිස ගෞතමයන් ඉපදවී, උන්වහන්සේ ව්‍යාධි මරණ වෙළුණවුන්ගේ දුක්ඛ රාශිය දුරුකළසේක.”
මෙසේ මහාපජාපතිගොතමී ථෙරී ගාථාවන් දෙසුවාය.
මහාපජාපතීගොතමී ථෙරී ගාථා
6. 7.
163. “ගුත්තාවෙනි, දරුවන්ද, ඥාති සමූහයා, සම්පත්ද, හැර යමක් පිණිස පැවිදිවූයේද, ඒ වඩව සිතට වසඟ නොවව්.
164. “සිතින් රැවටුනු සත්වයෝ මාරවිෂයෙහි ඇළුනාහු නොයෙක් ඉපදීම් ඇති සසර දිව ඇවිදිත්.
165. “කාමයෙහි රුචියද ක්‍රෝධයද ආත්මදෘෂ්ටියද ශීලව්‍රත පරාමර්ශනයද විචිකිත්සාවද යන,
166. “මෙතෙරට ගෙනෙන මේ බැඳුම් නසා, භික්ෂුණිය මෙයට නැවත නොපැමිණෙව.
167. “ඇල්ම, මානය, උඩඟුව, මුලාව යන බැඳුම් සිඳ දුක් කෙළවර කරන්නෙහිය.
168. “සසර හැසිරීම නිමවා, නැවත ඉපදීම දැන මේ දිවියේම සෑහී සන්සුන්ව වාසය කරව.”
මෙසේ ගුත්තා ථෙරී ගාථාවන් දෙසුවාය.
ගුත්තා ථෙරී ගාථා
6. 8.
169. “සිත වසඟ නොවන කල්හි සිත එකමුතුවක් නොලැබ, නවවරක් විහාරයෙන් බැහැර ගියෙමි.
170. “භික්ෂුණිය, වෙතට පැමිණ සකසා ධර්මය විචාළෙමි. ඕතොම ධාතු ආයතන යුතු ධර්මය මට දේශනා කළාය.
171. “උත්තම අර්ථය (නිවන) පැමිණීම පිණිස චතුරාර්ය සත්‍යයද, ඉන්ද්‍රියන්ද, බලද, බොජ්ඣංගද, අෂ්ටාංගික මාර්ගයද (දේශනා කළාය).”
172. “ඇගේ වචනය අසා ඒ අනුශාසනාව කරන්නී රෑ මුල් යාමයෙහි පෙර ජාති සිහි කෙළෙමි.
173. “රාත්‍රි මධ්‍යම යාමයෙහි දිවැස ලදිමි. පශ්චිම යාමයෙහි අඳුරු කඳ නැසීමි.
174. “එකල්හි ප්‍රීති සැපය ශරීරය පුරා පතුරවා වාසය කෙළෙමි. අඳුර නසා සත්වැනි දවස පය දිගහැරියෙමි.”
මෙසේ විජයා ථෙරී ගාථාවන් දෙසුවාය.
විජයා ථෙරී ගාථා
ඡක්කනිපාතො නිට්ඨිතො.