4. චතුක්ක නිපාතය
4. 1.
63. සර්වඥයන් වහන්සේගේ පුත්‍රවූ, ආර්ය දායාදය ඇත්තාවූ, සමාධිගත සිත් ඇති මහාකාශ්‍යප ස්ථවිර තෙමේ පෙර විසූ කඳ පිළිවෙළ දනී. දෙව්ලොව හා අපායද දකී.
64. එසේම නොඉපදීම නම්වූ අර්හත්වයට පැමිණියාවූ, විශිෂ්ට ඥානයෙන් (කළයුත්ත) නිමකළාවූ, නිශ්ශබ්දතා ගුණයෙන් යුක්ත ඒ මුණි තෙමේ මේ ත්‍රිවිද්‍යාවෙන් යුත් බ්‍රාහ්මණයෙකි. (පව් දුරු කෙළේයි.)
65. එසේම තුන් නුවණ ඇති පිරිස් සහිත මාරපරාජය කළාවූ භද්රාකාපිලානීද අන්තිම ශරීරය දරයි.
66. ලෝකයෙහි ඇති දෝෂ සලකා පැවිදි වීමු. ඒ අපි දැමුනේ වෙමු. පව් ගෙවීමු. සිහිල්වූවෝ වෙමු. නිවුනෝවෙමු.
මෙසේ භද්‍රාකාපිලානී තෙරණිය ගාථාවන් වදාළාය.
භද්‍රාකාපිලානී ථේරී ගාථා.
චතුක්ක නිපාතය නිමි.
5. පංචක නිපාතය
5. 1.
67. යම්හෙයකින් පැවිදිව විසිපස් වසක් මුළුල්ලෙහි අසුරු ගසන පමණකුදු සිතේ සන්සුන් කමක් නොලදිමි.
68. මම, එසේ සිත සන්සුන් වීමක් නොලැබ කාම ආශායෙන් තෙත්ව හිස අත බැඳ හඬමින් විහාරයට ගියෙමි.
69. මා විසින් ඇදහියයුතු ඒ ධම්මදින්නා නම් භික්ෂුණිය වෙතට පැමිණියෙමි. ඕතොම ස්කන්ධායතන ධාතූන් ප්‍රකාශිත ධර්මය මට දේශනා කළාය.
70. එම භික්ෂුණියගේ ධර්ම කථාව අසා එකත්පසෙක හුනිමි. පෙර ජාති දනිමි. දිවැස පිරිසිදු කරණ ලදී.
71. පරසිත් දැනීමේ නුවණද, දිව කණද පිරිසිදු කරණ ලදී. මා විසින් පෙළහර පෑමේ නුවණ අත් දක්නා ලදී. මාගේ පව් ගෙවීයාම විය. විශේෂ දැනීම් සය අත් දක්නා ලදී. බුද්ධාවවාදය කරණ ලදී.
මෙසේ එක්තරා තෙරණියක් ගාථාවන් වදාළාය.
අප්‍රකට ථේරී ගාථා.
5. 2.
72. ශරීර පැහැයෙන්ද, රූපයෙන්ද, සැපතින්ද, යසසින්ද, තරුණ කමින්ද මත්වූවා තදවූවා අන්‍ය ස්ත්‍රීන් ඉක්මවා සිතමි.
73. මෝඩයන් කථාකරණ මේ කය විසිතුරු කොට සරසා, වැද්දා මළපුඩුව හෙලා බලාසිටින සේ වෙශ්යාගෘහයෙහි සිටියෙමි.
74. ආභරණ හැප්පීමෙන් බොහෝ රහස් තැන් දැක්වීමෙන්, මහජනයාට සිනාසෙමින් නොයෙක් රැවටීම් කෙළෙමි.
75. ඒ මම අද හිස මුඩුකොට දෙපොට සිවුරු පොරවා පිඬු පිණිස හැසිර ද්විතියධ්‍යානය පටන් අර්හත්වය ලබා ගස් මුලෙක හුන්නී වෙමි.
76. දෙවි මිනිසුන් ඒ සියළු බැඳුම් සිඳ සියලු පව් ගෙවා සිහිල් වීමි. නිවුනෙමි.
මෙසේ විමලා තෙරණිය ගාථාවන් වදාළාය.
විමලා ථේරී ගාථා.