3. 6.
54. “බුදුබණ දෙසන සුක්කා භික්ෂුණිය වෙතට යමෙක් නොපැමිණෙත්ද, ඒ මේ රජගහවැසියෝ මී බීවන් මෙන් හිඳිති.
55. නෛයාර්නිකවූ අමෘත රසය වගුරුවන ඕජාවත්වූ එයද මගීහු වැහි දිය මෙන්, නුවණැත්තෝ ඉතා ආදරයෙන් බොත්.
56. “සුක්කාවෙනි, පවිත්‍ර ධර්මයෙන් යුක්තව ඇළුම් නැතිව එකඟ සිත්ව සේනා සහිත කෙලෙස් මරු දිනා මේ අන්තිම ශරීරය උසුලව.”
මෙසේ සුක්කා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සුක්කා ථේරී ගාථා
3. 7.
57. “ලෝකයෙහි මිදීමක් නම් නැත. විවේකයෙන් කුමක් කෙරේද? කාම රුචීන් අනුභව කරව. පසුව පසුතැවිලි නොවෙව.
58. කාමයෝ ශරීර කොටන ආයුධයක් හා හුලක් වැනියහ. තා කියනා ඒ කාමරතිය මට නම් දැන් අරතියෙකි.
59. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පළන ලදී. මාරය, මෙසේ දනුව, පාපිය, තෝ නැසුණෙහිය.”
මෙසේ සෙලා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සේලා ථේරී ගාථා
3. 8.
60. “බුද්ධාදීන් විසින් ලැබිය යුතු ස්ථානයවූ, ලැබීමට දුෂ්කරවූ, යම් ස්ථානයක් වේද, එය දෑඟිලි නුවණ ඇති ස්ත්‍රියක විසින් ලැබිය නොහැකියි.
61. සිත එකමුතු කළ ඥාණය පවත්නා සමයෙහි මනා කොට ධර්මයන් දක්නාවූ අපට ස්ත්‍රී බව කුමක් කෙරේද?
62. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පළන ලදී. ලාමකය, මෙසේ දනුව, මාරය, තෝ නැසුණෙහිය.”
මෙසේ සොමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සෝමා ථේරී ගාථා
තිකනිපාතො නිට්ඨිතො.