3. 4.
48. “දවල් විවේකයෙන් නැගිටියේ ගිජුකුළු පව්වෙහි දියෙහි ගැලී ගොඩනැගුණු ඇතෙකු ගංතෙර දිටිමි.
49. පුරුෂයෙක් අකුස්ස ගෙන පිටට නැගීමට පය දෙවයි ඉල්ලයි. එවිට හස්තියා පය දිගු කෙළේය. ඉන් ඔහු පිටට නැගිණි.
50. “නොදැමුනාවූ, පසුව හික්මවනලද, මිනිසුන් වසයට ගිය ඌ දැක ඉන්පසුව සිත එකමුතු කෙළෙමි.”
මෙසේ දන්තිකා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
දන්තිකා ථේරී ගාථා
3. 5.
51. “උබ්බරිය, දුව ජීව, කියා වනමැද හිඳ හඬන්නෙහිය, තමන් ගැන තේරුම් ගනුව. ජීව නම් සුවාසූ දහසක් සියළු දූවරු මේ සොහොනෙහිම දවන ලදහ. ඔවුන් අතුරෙන් කවරක උදෙසා දුක්වෙහිද?
52. හදවත ඇසුරු කළ දැකීමට නොහැකි හුලක්වූ ශෝකය ඒකාන්තයෙන් ඇද දැමීය. යම් හෙයකින් ශෝකයෙන් යුත් මගේ අනිත්‍ය ශෝකය පහ කෙළේය.
53. “එහෙයින් ඒ මම උපුටා හල හුල් ඇත්තී, ශොක නැත්තී පිරිනිවියා වෙමි. මුනිවරය, බුදුන් දහම් සඟුන් සරණ කොට යමි.”
මෙසේ උබ්බිරී ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
උබ්බරී ථේරී ගාථා
3. 6.
54. “බුදුබණ දෙසන සුක්කා භික්ෂුණිය වෙතට යමෙක් නොපැමිණෙත්ද, ඒ මේ රජගහවැසියෝ මී බීවන් මෙන් හිඳිති.
55. නෛයාර්නිකවූ අමෘත රසය වගුරුවන ඕජාවත්වූ එයද මගීහු වැහි දිය මෙන්, නුවණැත්තෝ ඉතා ආදරයෙන් බොත්.
56. “සුක්කාවෙනි, පවිත්‍ර ධර්මයෙන් යුක්තව ඇළුම් නැතිව එකඟ සිත්ව සේනා සහිත කෙලෙස් මරු දිනා මේ අන්තිම ශරීරය උසුලව.”
මෙසේ සුක්කා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සුක්කා ථේරී ගාථා
3. 7.
57. “ලෝකයෙහි මිදීමක් නම් නැත. විවේකයෙන් කුමක් කෙරේද? කාම රුචීන් අනුභව කරව. පසුව පසුතැවිලි නොවෙව.
58. කාමයෝ ශරීර කොටන ආයුධයක් හා හුලක් වැනියහ. තා කියනා ඒ කාමරතිය මට නම් දැන් අරතියෙකි.
59. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පළන ලදී. මාරය, මෙසේ දනුව, පාපිය, තෝ නැසුණෙහිය.”
මෙසේ සෙලා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සේලා ථේරී ගාථා
3. 8.
60. “බුද්ධාදීන් විසින් ලැබිය යුතු ස්ථානයවූ, ලැබීමට දුෂ්කරවූ, යම් ස්ථානයක් වේද, එය දෑඟිලි නුවණ ඇති ස්ත්‍රියක විසින් ලැබිය නොහැකියි.
61. සිත එකමුතු කළ ඥාණය පවත්නා සමයෙහි මනා කොට ධර්මයන් දක්නාවූ අපට ස්ත්‍රී බව කුමක් කෙරේද?
62. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පළන ලදී. ලාමකය, මෙසේ දනුව, මාරය, තෝ නැසුණෙහිය.”
මෙසේ සොමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සෝමා ථේරී ගාථා
තිකනිපාතො නිට්ඨිතො.