2. 8.
33. “මෑණියෙනි, පත්ලෙන් උඩ හිසකේ වැටියෙන් යට මේ ශරීරය අපවිත්ර වශයෙන් කුණු ගඳගහන්නක් වශයෙන් කල්පනා කරව.
34. “මෙසේ වාසය කරන්නාවූ මාගේ සියලු රාගය නැති විය. දැවිල්ල සන්සිඳුනේය. සිහිල්ව නිවුනෙමි.”
මෙසේ අභයමාතා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
අභය මාතා ථේරී ගාථා
2. 9.
35. “අභයාවෙනි, පෘථග්ජනයා යම් තැනක ඇලේද මේ ශරීරය වහා බිඳෙන සුළුය. යහපත් නුවණ හා සිහි ඇතිව මේ ශරීරයට ආශා දුරලමි.
36. බොහෝ දුකින් පෙළෙන අප්රමාදයෙහි ඇලුණු මගේ තෘෂ්ණාව පහවිය. බුදුන්ගේ අවවාදය කළෙමි.”
මෙසේ අභයා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
අභයා ථේරී ගාථා
2. 10.
37. “වීර්යයේ සමාන බවක් නැති හෙයින් සිතට සහනයක් නොලැබ නව වරක් විහාරයෙන් පිටතට ගියෙමි.
38. ඒ මම අටවෙනි රාත්රියෙහි තෘෂ්ණාව නැසීමි. ප්රමාද නොවීමෙහි ඇලුනාවූ මට බොහෝ දුක් ස්වභාවයන්ගෙන් තණ්හා නැතිකරන්නට හැකිවිය. බුදුන්ගේ අවවාදය පිළිපදින ලදී.”
මෙසේ සාමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සාමා ථේරී ගාථා
දුකනිපාතො නිට්ඨිතො.
3. තික නිපාතය
3. 1.
39. “පැවිදිවී විසිපස් වසක් වනතෙක් මා සිතට සන්සිඳීමක් ලැබුණු බවෙක් නම් කිසි කලෙක නොදනිමි.
40. එසේ සිත සැනසීමක් නොලැබ සිත වසඟ නොවූවා බුදුබණ සිහිකර ඉන් කලකිරීමට පැමිණියෙමි.
41. බොහෝ දුකින් මිරිකෙමින් වීර්යයෙහි ඇළුණු මට නිවන් ලැබිණ. බුද්ධාවවාදය කෙළෙමි. තණ්හාව වියලා අදට සත්දවසක් විය.
මෙසේ සාමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
අඤ්ඤරා (අප්රකට) සාමා ථේරී ගාථා
3. 2.
සිත සැනසීම නොලැබ සිත එකඟ නොවූවා නව වරක් වෙහෙරෙන් පිටවීමි.”
43. “මා විසින් ඇදහිය යුතු වචන ඇති පටාචාරා නම් රහත් භික්ෂුණියක් වීද, ඈ වෙතට පැමිණීමි. ඕතොම ස්කන්ධායතන ධාතූන් ගැන මට දහම් දෙසුවාය.
44. “මට ඇය අනුශාසනා කළ පරිදි ඇගේ ධර්මය අසා සත් දවසක් එක අරමිණියෙන් සිටියෙමි. අටවෙනි දිනයෙහි අඳුරු නසා පය දිග හැරියෙමි.”
මෙසේ උත්තමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
උත්තමාථෙරීගාථා
3. 3.
45. “යම් මේ අවබෝධයේ අංග සතක් වේද බුදුන් දෙසූසේ ඒ සියල්ල මා විසින් වඩන ලදහ.
46. ශුන්යතා අනිමිත්ත යන සමාපත්ති දෙක කැමතිසේ ලබන්නාවූ නිවනෙහි ඇලුනු බුදුන්ගේ උරෙහි වැඩුන දුවක් වීමි.
47. දෙව් මිනිස් සියළු කාමයෝ සිඳින ලදහ. උපදනා සසර ගෙවිණි. මින් මතු නැත වීමක් නැත.”
මෙසේ අපරා උත්තමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
(අප්රකට) උත්තමා ථේරී ගාථා