2. 4.
25. “කසී රටින් ලැබෙන බද්ද යම්තරම් වීද මට ලැබෙන පඩිය එපමණ විය. නියම ගම් වැසි මහජනතෙමේ වටිනා මා අඩකින් සීමා කළේය.
26. “නැවත මම රූපයෙහි කලකිරුනෙමි. එහි නොඇලුනෙමි. නැවත සසර සැරීමක් නැත. ත්‍රිවිද්‍යාවන්ට පැමිණෙන ලදී. බුද්ධාවවාදය කෙළෙමි.”
මෙසේ අඩ්ඪකාසී ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
අඞ්ඪකාසී ථේරී ගාථා
2. 5.
27. “ඉදින් මම ජරාවෙන් දිරා කෘශවීමි. ලෙඩව ඉතා දුර්වලව සැරයටියේ ආධාරයෙන් ඔබ මොබ යමි.
28. දෙපට සිවුර හා පාත්‍ර පසෙක තබා පර්වතයෙහි හිඳ ආත්මභාවය යටපත් කෙළෙමි. මෝහ රාශියද දුරු කළෙමි.”
මෙසේ චිත්තා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
චිත්තා ථේරී ගාථා
2. 6.
29. “ඉදින් මම දුක් ඇතිව, දුර්වලව, ඉක්මගිය තරුණ වයස ඇතිව, සැරයටියේ ආධාරයෙන් යෙම්ද?
30. “පර්වතයට නැගී දෙපට සිවුර පසෙක තබා පාත්‍රයද තබා පර්වතයෙහි හුන්නෙමි. ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුද්ධාවවාදය කරණ ලදී.”
මෙසේ මෙත්තිකා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
මෙත්තිකා ථේරී ගාථා
2. 7.
31. “පක්ෂය පිළිබඳ තුදුස්වක් දිනද, පසළොස්වක් දිනද, අටවක් දිනද, ප්‍රාතිහාර්ය කාලයෙහිද, දිව්‍ය සමූහයා සතුටු වන අටසිල් සමාදන්වීමි.
32. “ඒ මම බත් බුදින කාලය පමණ ස්වල්ප වේලාවක් හිස මුඩුකොට දෙපට සිවුර පෙරවීමි. හිතේ කෙලෙස් පිපාසය සන්සිඳුවා දිව්‍ය සැපය ප්‍රාර්ථනා නොකරමි.”
මෙසේ මෙත්තා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
මෙත්තා ථේරී ගාථා
2. 8.
33. “මෑණියෙනි, පත්ලෙන් උඩ හිසකේ වැටියෙන් යට මේ ශරීරය අපවිත්‍ර වශයෙන් කුණු ගඳගහන්නක් වශයෙන් කල්පනා කරව.
34. “මෙසේ වාසය කරන්නාවූ මාගේ සියලු රාගය නැති විය. දැවිල්ල සන්සිඳුනේය. සිහිල්ව නිවුනෙමි.”
මෙසේ අභයමාතා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
අභය මාතා ථේරී ගාථා
2. 9.
35. “අභයාවෙනි, පෘථග්ජනයා යම් තැනක ඇලේද මේ ශරීරය වහා බිඳෙන සුළුය. යහපත් නුවණ හා සිහි ඇතිව මේ ශරීරයට ආශා දුරලමි.
36. බොහෝ දුකින් පෙළෙන අප්‍රමාදයෙහි ඇලුණු මගේ තෘෂ්ණාව පහවිය. බුදුන්ගේ අවවාදය කළෙමි.”
මෙසේ අභයා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
අභයා ථේරී ගාථා
2. 10.
37. “වීර්යයේ සමාන බවක් නැති හෙයින් සිතට සහනයක් නොලැබ නව වරක් විහාරයෙන් පිටතට ගියෙමි.
38. ඒ මම අටවෙනි රාත්‍රියෙහි තෘෂ්ණාව නැසීමි. ප්‍රමාද නොවීමෙහි ඇලුනාවූ මට බොහෝ දුක් ස්වභාවයන්ගෙන් තණ්හා නැතිකරන්නට හැකිවිය. බුදුන්ගේ අවවාදය පිළිපදින ලදී.”
මෙසේ සාමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සාමා ථේරී ගාථා
දුකනිපාතො නිට්ඨිතො.