2. 1.
19. “නන්දාවෙනි, ජරාවෙන් ලෙඩවූ කුණුවලින් අපවිත්‍රවූ කුණුවූ මේ ශරීරය බලව.”
20. රාගාදී වශයෙන් නොගෙන භාවනා කරව. ඉතිරි සහිත මානය දුරුකරව. එසේ මානය නැතිකිරීමෙන් සන්සුන්ව හැසිරෙව.
භාග්‍යවතුන් වහන්සේ අභිරූප නන්දා නම් හික්මෙන භික්ෂුණියට මේ ගාථාවලින් නිතර අවවාද කරති.”
අභිරූප (ඉතා රූමත්) නන්දා ථේරී ගාථා
2. 2.
21. “නිවන් දැකීමට මාර්ගයවූ යම් මේ බොජ්ඣංග හතක් වෙත්ද, බුදුන් වදාළ පරිදි ඒ ධර්මයෝ මා විසින් පුරුදු කරණ ලදහ.”
22. මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නා ලදී. මේ අන්තිම ශරීරයය. පුනරුත්පත්තිය ක්ෂය විය. නැවත ඉපදීමක් නැත.”
මෙසේ ජෙන්තා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
ජෙන්තී ථේරී ගාථා
2. 3.
23. “යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුනු තැනැත්තිය මොහොලින් වී කෙටීමෙන්ද ලජ්ජා භය නැති ස්වාමියාගෙන්ද පිළිකුල් බට කර්මාන්තයෙන්ද, පිළුණු ගඳ ගහන මගේ සැළියෙන්ද මිදුනෙමි.
24. මම රාගයද ද්වේෂයද චිව්විට චිව්විට යන අනුකරණයෙන්ම නසමි. ඒ මම ගසමුලට පැමිණ අහෝ සැපයයි සැප වශයෙන් භාවනා කරමි.”
මෙසේ සුමඞ්ගලමාතා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සුමංගල මාතා ථේරී ගාථා
2. 4.
25. “කසී රටින් ලැබෙන බද්ද යම්තරම් වීද මට ලැබෙන පඩිය එපමණ විය. නියම ගම් වැසි මහජනතෙමේ වටිනා මා අඩකින් සීමා කළේය.
26. “නැවත මම රූපයෙහි කලකිරුනෙමි. එහි නොඇලුනෙමි. නැවත සසර සැරීමක් නැත. ත්‍රිවිද්‍යාවන්ට පැමිණෙන ලදී. බුද්ධාවවාදය කෙළෙමි.”
මෙසේ අඩ්ඪකාසී ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
අඞ්ඪකාසී ථේරී ගාථා
2. 5.
27. “ඉදින් මම ජරාවෙන් දිරා කෘශවීමි. ලෙඩව ඉතා දුර්වලව සැරයටියේ ආධාරයෙන් ඔබ මොබ යමි.
28. දෙපට සිවුර හා පාත්‍ර පසෙක තබා පර්වතයෙහි හිඳ ආත්මභාවය යටපත් කෙළෙමි. මෝහ රාශියද දුරු කළෙමි.”
මෙසේ චිත්තා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
චිත්තා ථේරී ගාථා
2. 6.
29. “ඉදින් මම දුක් ඇතිව, දුර්වලව, ඉක්මගිය තරුණ වයස ඇතිව, සැරයටියේ ආධාරයෙන් යෙම්ද?
30. “පර්වතයට නැගී දෙපට සිවුර පසෙක තබා පාත්‍රයද තබා පර්වතයෙහි හුන්නෙමි. ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුද්ධාවවාදය කරණ ලදී.”
මෙසේ මෙත්තිකා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
මෙත්තිකා ථේරී ගාථා
2. 7.
31. “පක්ෂය පිළිබඳ තුදුස්වක් දිනද, පසළොස්වක් දිනද, අටවක් දිනද, ප්‍රාතිහාර්ය කාලයෙහිද, දිව්‍ය සමූහයා සතුටු වන අටසිල් සමාදන්වීමි.
32. “ඒ මම බත් බුදින කාලය පමණ ස්වල්ප වේලාවක් හිස මුඩුකොට දෙපට සිවුර පෙරවීමි. හිතේ කෙලෙස් පිපාසය සන්සිඳුවා දිව්‍ය සැපය ප්‍රාර්ථනා නොකරමි.”
මෙසේ මෙත්තා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
මෙත්තා ථේරී ගාථා