1. සුමෙධා ථේරී ගාථා
450. “මන්තාවතී නුවර කොඤ්ච නම් රජුගේ අගමෙහෙසියගේ සුමේධා නම් දුවවීමි. ආර්යයන් විසින් පහදවන ලදිමි.
451. “සිල්වත්, විසිතුරු කථා ඇති, බොහෝ දත් බුද්ධ ශාසනයෙහි හික්මුණු ඕ මවුපියන් වෙතට එළඹ මා කථාව දෙදෙනම අසව්යයි කියයි.
452. “මම නිවනට ඇළුනෙමි. භවයට ඇතුළත් දිව්‍යමය වුවත් සියල්ල අස්ථිරය. කාමයෝ වනාහී හිස්වූ නීරස බොහෝ වෙහෙස ඇති කරන්නෝය.
453. “කාමයෝ කටුකය. සර්පයන් වැනිය. මෝඩයෝ එහි මුළාව නිරයෙහි වැටී දීර්ඝ කාලයක් දුක් විඳිමින් නැසෙත්.
454. “හැමවිට කය වචන සිත නොවසා, පව්කළාහු පාප කර්මයෙන් නරකයෙහි ශොක කෙරෙති.
455. “නුවණ නැති, අමනවූ, දුක්වූ, තෘෂ්ණාවෙන් වටවූවෝ ආර්ය සත්‍යයන් දෙසන කල්හි නොදන්නාහු අවබෝධ නොකරත්.
456. “මෑණියෙනි, බුද්ධොත්තමයන් විසින් දේශනා කළ සත්‍යයන් නොදන්නාවූ ඒ බොහෝ දෙන සසර දෙයට සතුටුවෙති. දෙව්ලෝ ඉපදීම පතත්.
457. “සසර සියල්ල අනිත්‍ය කල්හි දෙව්ලොව ඉපදීම සදාකාලික නොවේ. නැවත නැවත ඉපදිය යුත්තට අඥානයෝ සංවේග නොවෙත්.
458. “සතර අපායද දෙව්මිනිස් දෙගතියද කෙසේ හෝ ලබති. නරකයෙහි ඇද වැටුනවුනට පැවිදි වීමෙක් නොවේ.
459. “දසබලහුගේ ශාසනයෙහි පැවිදි වන්නට දෙදෙනාටම අනුදනිව්. ජාති මරණ නැසීම පිණිස තැත් කරන්නෙමි.
460. “කය උවදුරු වලින් අසාරවූ සසර කවර සතුටු වීමෙක්ද? පැවිදි වන්නෙමි. සසර ඇල්ම නැසීමට අනුදනිමි.
461. “නපුරු (කාල) ක්ෂණ වලින් තොර බුදුන් උපදනා ක්ෂණය ලදී. සීලයද බඹසරද දිවි ඇතිතෙක් කඩ නොකරමි.
462. “ගෘහස්ථව අහර නොගනිමි. මැරෙන්නක සේ වන්නෙමි. මෙසේ සුමේධා තොමෝ මවු පියන්ට කියයි.
463. “ඇගේ මවු තොම දුක් ඇතිව හඬයි. දුකට පත් පියාද පහයෙහි බිම වැටී හුන්නියට ගිහිසැප හොඳයයි හඟවන්නට උත්සාහ කරයි.
464. “දරුව, නැගී සිටුව, ශොක කිරීමෙන් කිම? වාරණවති නුවරැ අණිකදත්ත රජතෙම විශිෂ්ට රූ ඇත්තේය. ඔහුට තී පාවා දෙන ලද්දෙහිය.
465. “අණිකදත්ත රජුට භාර්යාවවූ අගමෙහෙසිය වන්නෙහිය. දුව සිල් රැකීම බඹසර හැසිරීම පැවිදිවීම ඉතා දුෂ්කරය.
466. “රජයෙහි තොප ආඥාවය. ධන සම්පත්තිය සැපවත්ය. ළදරුවෙහිය, එහෙයින් කාම සම්පත් අනුභව කරව. දුව, නුඹේ විවාහයද වේවා.
467. මෙබඳු සංසාර ගත අසාරයක් මට නොවේවා. පැවිදි හෝ වන්නෙමි. නැතහොත් මැරෙන්නෙමි. විවාහයක් නම් නැත්මය.
468. පණුවකුසේ කුණුවූ, අපවිත්‍රවූ, දුඟඳවූ වැගිරෙන නොයෙක් අශුචියෙන් සම් පසුම්බියක්වූ කුණපවූ මේ කුණු කයට සාරයයි කෙසේ ඇතුළත් වන්නෙම්ද?