40. චත්තාලීසතිනිපාතො.
40. 1.
399. “පොළවට ආභරණයක් වූ කුසුම නම් වූ පැළලුප් නුවර ශාක්‍ය පුත්‍රයන් වහන්සේගෙන් කුලවත්වූ, ගුණවත්වූ භික්ෂුණීහු දෙදෙනෙක් වෙසෙති.
400. “ඉන් එක් නමක් ඉසිදාසී නමි. දෙවැන්නි සිල්වත් බෝධිථෙරී නම් ධ්‍යාන කිරීමෙහි ඇලුණාහු බොහෝ දැන උගත්තාහු පහකළ කෙළෙස් ඇත්තාහු වූ.
401. “ඔහු පිණ්ඩපාතයෙහි හැසිර බත් කිස ගනීවා, පාත්‍රා සෝධා තබා ජනයාගෙන් තොරව සැපසේ හිඳ මේ ගාථාවෙන් කීහු.
402. “ආර්යා ඉසිදාසිය, පැහැ විහිදෙන රූ ඇත්තෙහිය. නුඹේ වයසද නො පිරිහුණේය. ගිහිගෙයි කවර දෝෂයක් දැක පැවිද්දට නික්මුණෙහිද?
403. “මෙසේ ශුන්‍ය ස්ථානයෙහිදී යෙදුනු ධර්ම දේශනාවෙහි දක්ෂවූ ඒ ඉසිදාසී භික්ෂුණීතොම “බෝධිය මා පැවිදි වූයේ කෙසේදැයි අසවයි මේ වචන කීය.
404. “උදේනි නුවර සිල්වත් සිටුතෙම මගේ පියාය. ඔහුට මම ප්‍රියවූ, මන වඩන, දයාවත් එකම දුවණිය වූවාය.
405. “ඉක්බිති සාකේත නුවරින් උතුම් කුලවත් මා ඉල්ලන්නෝ ආවාහුය. මහත් ධන ඇති සිටුකෙනෙක් වෙයි. ඔහුට ලේලියකොට මා පාවාදිනි.
406. “උදේ සවස නැදිමයිලන් වෙත වැඳීමට ගොස් දෙපය හිස තබමි. වඳිමි. අවවාදය එසේ පිළිපදින්නක් වෙමි.
407. “මගේ හිමියාගේ යම් සහෝදරියෝ වෙත්ද, සොහොයුරෝ වෙත්ද, පිරිවරවේද, මුන් අතුරෙන් එකම වල්ලභයකු දැක තැතිගත්තාව අසුන් දෙමි.
408. “එහි සැදූ ආහාර පාන වලින් යමකුට සුදුසු යමක් ඇද්ද එයින් පවරමි. එළවමි. දෙමි.
409. “සුදුසු කාලයෙහි උපස්ථාන කොට, එලිපත සමීපයේදී පිළිගනිමි. අත් පා සෝදවා ඇඳිලි බැඳගෙන ස්වාමියා වෙතට පැමිණියෙමි.
410. “හිස පීරණ කොස්සද, විලවුන්ද, කැඩපතද ගෙණ වැඩකාරියක මෙන් තොමෝම සිය හිමියා සරසමි.
411. “තොමෝම බත් පිසයි. තොමෝම බඳුන් සෝදයි. එක් පුතකු ඇති මවක මෙන් එවිට හිමියාට උපස්ථාන කරමි.
412. “මෙසේ බැල මෙහෙ ඇති ඇලුණු, කටයුතු කරණ, උඩඟු නොවූ, අලස නොවූ, සිල්වත් උපස්ථායිකාවූ මට හිමියා කෝප කරයි.
413. “ඉසිදාසිය හා එක ගෙයි එක්ව නොවසන්නෙමි. මම විචාරා යන්නෙමියි’ හෙතෙම මවුපියන්ට කියයි.
414. “පුත්‍රය, එසේ නොකියව, ඉසිදාසිය නුවණැති දක්ෂ අලස නැති උපස්ථායිකාවකි. කුමක් හෙයින් නුඹට රුචි නොවේද?”
415. “මට කිසි හිංසාවක්ද නොකෙරෙයි. මම ඈ හා නොවසන්නෙමි. මට කෝප උපදවයි. මට ප්‍රයෝජනයක් නැත. නොවිචාරාම යම් තැනක යන්නෙමි.”
416. “ඔහුගේ වචනය අසා නැදිමයිල්හු ‘තෝ කවර වරදක් කෙළෙහිද? නිසැකව කියව’යි මා විචාළෝය.
417. “ආර්යාවෙනි. මම කිසි වරදක් නොකෙළෙමි. හිංසාවක් නොකෙළෙමි. නොබිණිමි. මා හිමියා කෝප වන කවර බැණීමක් කරන්නට හැකිවේද?