30. තිංසතිනිපාතො.
30. 1.
365. “එක් සල්ලාලයෙක් ජීවකගේ සිත්කළු අඹ උයනට යන සුභාව වැලැක්විය. සුභාව ඔහුට මෙසේ කීය.
366. “නුඹ මා අවුරා සිටියෙහි. ඒ නුඹට මා විසින් අපරාධයක් කෙළේද? ඇවැත්නි, පුරුෂයෙක් මෙහෙණියක ස්පර්ශකිරීම නුසුදුසුය.
367. “ගරුකටයුතුවූ බුදු සස්නෙහි ඒ සර්වඥයන් වහන්සේ විසින් මට යම් ශික්ෂාපදයක් වදාරණලදද, සම්පූර්ණ පිරිසිදු කිලිටි රහිතවූ මා කුමකට අවුරා සිටීද?
368. “කැලඹුනු සිත් ඇත්තාවූ, කෙලෙස් සහිතවූ නුඹ නොකැලඹුණු සිත් ඇත්තාවූ පහවූ රජස් ඇති පව් නැති, සියළු තන්හි සිත මිදුනාවූ මා කුමකට අවුරා සිටීද?
369. “තී තරුණ වෙහිය. පින්වත් වෙහි. එබඳු තීට කවර ප්රව්රජ්ජාවෙක්ද, එහෙයින් කසාවත් ඉවත දමව, එව මල් පිපියාවූ මේ වෙනෙහි සිත් අලවමු.
370. “හැම දෙයින් සුවඳවත් සුළං හමයි. වෘක්ෂයෝ මල් රේණුවෙන් හටගත්තාක් මෙන් වෙත්. සැප ඇති වසන්ත ඍතුවෙහි පළමු මස පවතියි. එය රමණීය වෙනෙහි සිත් අලවමු.
371. “සුළඟින් සොළවන ලද, මුදුනෙහි පිපි මල් ඇති ගස් අපට ස්තුති කරමින් සිටිනු වැන්න. ඉදින් තනිව වන වදින්නෙහි නම් නුඹට කවර නම් ඇලීමක් වන්නේද?
372. “චණ්ඩමෘග සමූහයා විසින් සෙවිතවූ ඇතුන් හා මත් ඇතින්නන් විසින් කළඹන ලද ජනශුන්‍ය, බිහිසුණු මහ වනයට යෙහෙලියක් නැතිව යනු කැමති වෙහිද?
373. “උපමා නැත්තිය, රනින් කළ (පෙතැල්ලක්) බෝනික්කෙක් වැනි මිත්‍ර රථ නම් දෙව උයනෙහි හැසිරෙන අප්සරාවක් බඳු නුඹ මනහර සියුම් කසීවතින් හොබනෙහිය.
374. “කිඳුරිය, ලද බොළඳ ඇස් ඇත්තීය, ඉදින් මේ වන තුරෙහි සිත් අලවා වෙසෙමු නම් මම නුඹට වසඟය. නුඹට වඩා ප්‍රියවූ අන් සත්වයෙක් මට නැත.
375. “ඉදින් මාගේ වචනය කරන්නෙහි නම් සුවපත් වූවා එව, ගිහිගෙයි වෙසෙව, ප්‍රාසාදයන්හි නොසුළඟේ වාසය කරන ස්ත්‍රීහු නුඹට වතාවත් කෙරෙති.
376. “සියුම් කසීසළු දරව. සුවඳ විලවුන් දරව. නුඹට බොහෝ රන් මුතු මිණි ඔබ්බනලද නොයෙක් අබරණ කරදෙමි.
377. “දූවිලි මනාව සේදූ තිර ඇති, දික් ලොම් පලස් හා අළුත් කොඳු පලස් අතුළ, ඉතා වටිනා සඳුන් හරයෙන් ගත් සුවඳ යොදා සුවඳවූ, මහඟු යහනට නඟුව.
378. “අමනුෂ්‍යයන් අධිගෘහිත දියෙන් නැඟුණු උපුලක් මෙන් බ්‍රහ්මචර්යාව ඇති නුඹද ස්වකීය ශරීරයෙහි දිරීමට පැමිණෙන්නෙහිය.
379. “යමක් දැක නුඹ නොසතුටු සිත්ව බලනෙහිද, ඒ නුඹට දෙතිස් කුණපයෙන් පිරුණු සොහොන්බිම උස්කරණ සුළු බිඳෙනසුළු මේ ශරීරයෙහි කුමක් සාරසේ පෙනේද?
380. “ඇස් මුව දෙනකගේ වැනිය. පර්වත කුක්ෂියක කිඳුරු ලියකගේ වැනිය. තිගේ ඇස් නරඹන මට කාමරතිය වැඩියක් වැඩෙයි.
381. “තිගේ පිරිසිදු රන්වන් මුහුණෙහි උපුල් මල් මුදුන වැනි ඇස් නරඹන මට අතිශයින් කාමරාගය වැඩෙයි.
382. “කිඳුරුලිය බොළඳ නෙත් ඇත්තිය, නොපෙණෙන දුරකට ගියේ නමුත්, දික්වූ ගෝල ඇති පිරිසිදු නේත්රයන්ම සිහිකරමි. තිගේ නේත්‍රයට වඩා ප්‍රියවූවක් මට නම් නැත.
383. “නොමගින් යනු කැමැත්තෙහිද? සඳ කෙළිබඩුවක් කොට සොයහිද? මෙර ඉක්මවීමට කැමැත්තෙහිද? ඒ ඔබ බුදුන්ගේ දුවක් පතන්නෙහිය.
384. “යමෙක මා සිත ඇලේද, දෙවියන් සහිත ලෝකයෙහි එබඳු අරමුණක් නැත්මය. එය කෙබඳුදැයි නොදනිමි. එබැවින් රාගය මාර්ගයෙන් මුල් සහිතව නසන ලදී.
385. “ගිනි අඟුරු වළෙක දැමුවා මෙන්ද, විෂට පැමිණියා මෙන්ද, සහමුලින් විනාශකරණ ලදී. දැන් එය කෙබඳුද කියාත් නොදනිමි.
386. “යම් ස්ත්‍රියක් විසින් මේ වූ සැටියෙන් නොසලකන ලද ද, ශාස්තෲන් වහන්සේ ආශ්‍රය නොකරණ ලදද, එබඳු ස්ත්‍රියක් නුඹ පොළඹවා ඒ නුඹ මෙය දන්නිය පෙළහි.
387. “බැණිමෙහිද, වැඳීමෙහිද, සුවදුක් දෙකෙහිදී ද මට වනාහි සිහිය එළඹ සිටියාය. සංස්කාරය අශුචියැයි දැන සියල්ලෙහි සිත නොඇලෙයි.