16. සොළස නිපාතය
16. 1.
236. “ස්වාමීන්ගේ දඬුවමට බියෙන්ද, ආක්‍රොශයට බියෙන්ද තැතිගත්තී සීත කාලයෙහි දිය ගෙණෙමි. හැමවිට දියට බසිමි.
237. “බ්‍රාහ්මණය, නුඹ කාට බියවූයේ හැමදාම දියට බස්නෙහිද? වෙවුලන සිරුරු ඇතිව අතිශයින් සිත දුක විඳිනෙහිය.
238. “පින්වත් පුණ්ණාවෙනි. කළ පව් වළකන, කුසල් කරණ මා නුඹ දැනම පිළිවිසිහි.
239. “යම්කිසි මහල්ලෙක් හෝ තරුණයෙක් හෝ පාප කර්මයක් කෙරේද? හේ දිය නෑමෙන් පාප කර්මයෙන් මිදෙයි.
240. “නොදන්නාවූ නුඹට කවර නම් අඥානයෙක් දිය නෑමෙන් පාප කර්මයෙන් මිදේයයි යන මෙය කීයේද?
241. “දියෙහි හැසිරෙන ඒ අනෙක් මැඩි, කැසුබු, මෝරු, කිඹුල් මත්ස්‍යාදීහුත් ඒකාන්තයෙන් ස්වර්ගයට යන්නාහු යයි සිතමි.
242. “එළුවන් මරන්නෝද, හූරන් මරන්නෝද, කෙවුලෝද මුව වැද්දෝද ඒ අනෙක් සොරුද වධ ඝාතකයෝද පව් කාරයෝද ස්වර්ගයට යන්නාහ.
243. “ඔහුද දියෙහි ගිලීමෙන් පාපකර්මයෙන් මිදෙත් නම් ඉදින් මේ ගංගාවෝ ඔවුන්ගේ පෙර කළ පාපකර්මය ඉසිලුහ. බ්‍රාහ්මණය, යමකට බිය වූයේ සැම විට දියෙහි ගිලේද නුඹේ පුණ්‍යයෝද ඒ දියෙහිම පාවෙති. එවිට නුඹ පුණ්‍යයෙන් තොරවූවෙක්ය.
244. “බ්‍රාහ්මණය, එයම නොකරව. ශීත නුඹේ සම නොපෙළාවා.
245. “නොමඟට පිළිපන් මා ආර්ය මාර්ගයට පැමිණවී. එසේ දියේ ගැලීමෙන් මා වැළකූ පින්වතිය. නුඹට මේ සළුව දෙමි.
246. “සළුව නුඹටම වේවා. මම සළුව නොකැමැත්තෙමි. ඉදින් නුඹ දුකට බියවන්නෙහි නම් නුඹට දුක අප්‍රිය නම්
247. “එළියේද රහසේද පව්කම් නොකරව. ඉදින් නුඹ පව් කම් කෙරෙහිද, කරන්නෙහිද,
248. “අහසට නැග පලායන්නාවූද නුඹට එයින් මිදීමෙක් නැත. ඉදින් දුකට බියවන්නෙහි නම්, දුක ප්‍රිය නොවේ නම්
249. “නොසැලෙන බුදුන් දහම් සඟුන් සරණ කොට යව. ශීලයන් සමාදන් වෙව. එය නුඹට වැඩ පිණිස වන්නේය.
250. “නුඹ කීලෙස මට වැඩක් වේනම් මෙතැන් පටන් නොසැලෙන බුදුන් දහම් සඟුන් සරණ කොට යෙමි.
251. “පෙර බ්‍රාහ්මණ වීමි. අද ඇත්ත වශයෙන් බ්‍රාහ්මණ වෙමි. එසේ ත්‍රිවිද්‍යා ඇත්තෙමි. වේද සහිත වෙමි. යහපත් බ්‍රාහ්මණ වෙමි නෑවේ වෙමි.”
මෙසේ පුණ්ණා තෙරණිය ගාථා වදාළාය.
පුණ්ණා ථේරී ගාථා
සොළස නිපාතය නිමියේය.