11. 1.
213. “කල්‍යාණ මිත්‍ර භාවය සර්වඥයන් වහන්සේ විසින් ලෝකයා උදෙසා වර්ණනා කරණ ලදී. කළණ මිතුරන් සෙවුනේ මෝඩ වුවද පණ්ඩිතවන්නේය.
214. “බුද්ධාදී සත්පුරුෂයන් සේවනය කටයුතුයි. එසේ සේවනය කරන්නවුන්ගේ ප්‍රඥාව වැඩෙයි. සත්පුරුෂයන් සේවනය කරණ තැනැත්තේ සියළුම දුකින් මිදෙයි.
215. “දුකද, දුක ඇතිවීමද, නිවීමද, මාර්ගයද යන උතුම් ඇත්ත සතර දැනගනියි.
216. “සතුන් හික්මවන භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රි බව දුකකැයි වදාරණ ලදී. අඹුවන් කීපදෙනෙකු අතර එක් අඹුවක වීමද දුකෙක. වරක් වැදූ ස්ත්‍රීහු
217. “ගෙලද සිඳ ගනිති. සියුමැලි ශරීර ඇති ඔහු වස කති. ඉපදීම මරණය අතර වූවාහු දෙදෙනාම මහත් පීඩා විඳිති.
218. “වැදීමට යමින් සිය ගෙදරට නොපැමිණ, මගදී වදා හිමියන් මළ තැනැත්තිය දුටිමි.
219. “කාලකන්නියගේ පුත්‍රයන් දෙදෙනාද කළුරිය කළහ. සැමියාද මග මළේය. එක් දරසෑයක මවුපියන්ද සොහොයුරුද දැවෙත්.
220. “දුප්පත් පහත් කුලයන්හි ඉපිද නුඹ විසින් විඳිනා ලද දුක අප්‍රමාණයි. නොයෙක් දහස් ගණන් ජාතීන්හි තිට කඳුළුද පැවතිණි.
221. “සොහොන් මැද විසීමි. එසේම සිය පුත්‍ර මාංශයද කන ලදී. සියල්ලන් විසින් නින්දා කළ කුලවංශ නැසුණු වැන්දඹුවූ ඕතොම නිවණට පැමිණියාය.
222. “මා විසින් නිවන් යන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලදී. මම දහම් කැඩපත පැතීමි. නිවන ඇසින් දක්නා ලදී.
223. “ඉගුළුෑ හුල් ඇති බහා තුබූ බර ඇති කළ යුත්ත කළ රහත්වූ කිසාගොතමී ථෙරීවූ මම මෙය කීවේ වෙමි.”
මෙසේ කිසාගොතමී තෙරණිය ගාථා වදාළාය.
කිසාගොතමී ථේරී ගාථා
එකාදසක නිපාතය නිමියේය.
12. ද්වාදසක නිපාතය
12. 1.
224. ‘මව් දූ යන අපි දෙදෙන එකකුට භාර්යාවීමු. පෙර නුවූ ලොමුදැහැගන්වන මහත් සංවේගයක් මට පහළ විය.
225. “කාමයෝ අපවිත්‍රය. දුගඳය. කටු සහිතය. යමක ගැලී මවු දූ දෙදෙනවූ අපි පුතුට සමාන භාර්යා වීද ඒ කාමයට නින්දාවේවා.
226. “ඒ මම කාමයෙහි දොස් දැක නිර්භයවූ නිර්වාණය දැක්මට රජගහ නුවරදී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමි.
227. “පෙර ජාති දනිමි. දිවැස පිරිසිදු කෙළෙමි. පරසිත් දැකීමද දිව කණද පිරිසිදු කරණ ලදී.
228. “මා විසින් ඍද්ධි විධි නුවණ ප්රත්යක්ෂ කරණ ලදී. පව් ගෙවීමට පැමිණියාය. උසස් දැනුම් සය අත්දුටුවාය. බුද්ධාවවාදය කරණ ලදී.
229. “මම අසුන් සතරදෙනකු යෙදූ රථයක් ඍද්ධියෙන් මවාගෙණ ලොවට පිහිටවූ නොසෙල්වෙන බුදුන්ගේ සිරිපා වැඳ සිටියෙමි.
230. “තෝ අග දක්වා මනාව මල්පිපි රුකක් වෙතට පැමිණ තනිව සිටියෙහිය. නුඹට කිසිදු දෙවැනියක් නැත. ලද බොලඳ නුඹ සල්ලාලයන්ට බිය නොවෙහිද?
231. “සල්ලාලයෝ ලක්ෂයක් එක්ව ආවාහුද? මෙවැනි වන්නාහුය. ලෝමයකුත් නොසැලෙයි, නොවෙව්ලයි මාරය, නුඹ තනිව මට කුමක් කෙරෙහිද?
232. “ඒ මම අතුරු දහන් වෙමි. නුඹේ කුසට හෝ පිවිසියෙමි. බැම අතර හෝ සිටිමි. එසේ සිටින මා නොදක්නෙහිය.
233. “මම වසඟ කරගත් සිත් ඇත්තෙමි. සතර දියුණුව යහපත්ව වඩන ලදී. සිය දැනීම අත්දක්නා ලදී. බුදුන්ගේ ශාසනය කරණ ලදී.
234. “කාමයෝ ස්කන්ධයන් කෙටීමට සැත් උල් වැනිය. තා කියන ඒ කාම ඇල්ම මට නම් දැන් නොඇල්මකි.
235. “සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. අඳුරු කඳ පළන ලදී. මාරය, මෙසේ දැනුව, පාපිය තෝ නැසුනේ වෙහි කීවාය.”
මෙසේ උප්පලවණ්ණා තෙරණිය ගාථා වදාළාය.
උප්පලවණ්ණා ථේරී ගාථා
ද්වාදසක නිපාතය නිමියේය.