1. 4.
4. “තිස්සාවෙනි, තුන් වැදෑරුම් හික්මීමෙහි හික්මෙව. යහපත් උත්පත්තිය හිස් නොකරන්න. සියලු ආශා නමැති රැහැන් කඩා පඤ්චස්කන්ධ ලෝකයෙහි කෙලෙස් නැතිව වසන්න.”
මෙසේ තිස්සා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
තිස්සාථේරී ගාථා
1. 5.
5. “තිස්සාවෙනි, ධර්මයන්හි යෙදෙව යහපත් උත්පත්තිය නොඉක්මවව. යහපත් උත්පත්තිය ඉක්මවූවෝ අපායෙහි දුක් විඳිත්.”
මෙසේ අඤ්ඤතරා තිස්සා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
අඤ්ඤතරාතිස්සා ථේරී ගාථා
1. 6.
6. “ධීරාවෙනි, කෙලෙස් නැසීම ස්පර්ශ කරව. රාගාදී පාප අදහස් සංසිඳවීම ඇති කාමාදී රැහැන් සතරින් නිදහස්වූ ශ්‍රේෂ්ඨ නිර්වාණය අත්පත් කරව.”
මෙසේ ධීරා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
ධීරා ථේරී ගාථා
1. 7.
7. “වීරාවෙනි, වීරවූ ආර්ය ධර්මයන්ගෙන් දියුණු කරණලද, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති භික්ෂුණියක්වූ නුඹ පිරිවර සහිත කෙලෙස් මාරයා පරදවා අන්තිම ශරීරය දරව.”
මෙසේ වීරා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
වීරා ථේරී ගාථා
1. 8.
8. “මිත්තාවෙනි ශ්‍රද්ධාවෙන් පැවිදිව කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි සත්කාර කිරීමෙහි ඇලෙව. නිවන් ලැබීමට කුසල්වූ ආර්ය මාර්ගයන් දියුණු කරව.”
මෙසේ මිත්තා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
මිත්තා ථේරී ගාථා
1. 9.
9. “භද්‍රාවෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදිව යහපතෙහි යහපත්ව ඇලෙන්නෙක් වෙව. කාමාදි රැහැන් වලින් නිර්භයවූ නිවන්යාමට කුසල් දියුණු කරව.”
මෙසේ භද්‍රා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
භද්‍රා ථේරී ගාථා
1. 10.
10. “උපසමාවෙනි, මාරයාට අයත් එගොඩවන්නට නොහැකි කාමාදී සතර මහවතුර එතර කරව. සේනා සහිත මාරයා නසා අන්තිම ශරීරය දරන්නියක් වෙව.”
මෙසේ උපසමා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
උපසමා ථේරී ගාථා
1. 11.
11. “වංගෙඩිය, මොහොළ ස්වකීය කුදු ස්වාමියා, යන කුද තුනින් මිදුනෙම් මනාකොට මිදුනෙමි. භවාශාව නසා ජාති මරණ දෙකින් මිදුනෙමි.”
මෙසේ මුත්තා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
මුත්තා ථේරී ගාථා
1. 12.
12. “රහත්වීමට තද ආශාව ඇති අවසානය සොයන්නාවූ ඕතොමෝ සෝවාන් ආදී මාර්ගයන් තුනින් නිවන ස්පර්ශ කළාය. කාමයන්හි නොබැඳුන සිත් ඇත්තේ අවිහයෙ සිට අකනිටාවට යන්නීය.”
මෙසේ ධම්මදින්නා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
ධම්මදින්නා ථේරී ගාථා
1. 13.
13. “යමක්කොට අපායයෙහි නොතැවේද ඒ බුද්ධාවවාදයට අනුව ක්‍රියා කරව. ඉක්මනට දෙපා සෝදා එකපැත්තක හිඳගනුව.”
මෙසේ විසාඛා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
විසාඛා ථේරී ගාථා