1. 15.
15. “ශරීරයේ වචනයේ හා සිතේ සංවරයෙන් යුක්තවෙව. මුල් සහිත තෘෂ්ණාව උදුරා දමා කෙලෙස් නැති කළේ වෙමි. නිවුනේ වෙමි.”
මෙසේ උත්තරා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
උත්තරා ථේරී ගාථා
1. 16.
16. “සුමනාවෙනි, මහළුවූ ඔබ පාංශුකූල වස්ත්ර හැඳ පොරවා සුවසේ වසව. තොපගේ රාගය සංසිඳුනේය. සිහිල්විය, නිවුනේය.”
මෙසේ සුමනා බුඩ්ඪපබ්බජිතා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
සුමනාබුඩ්ඪපබ්බජිතා ථේරී ගාථා
1. 17.
17. “සැරයටියෙහි ආධාරයෙන් පිඬු පිණිස නුවර හැසිරී වෙවුලන ශරීරයෙන් යුක්තව එහිම බිම වැටුනෙමි. ශරීරයෙහි දෝෂය දැක මාගේ සිත කෙළෙසුන්ගෙන් මිදුනේය.”
මෙසේ ධම්මා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
ධම්මා ථේරී ගාථා
1. 18.
18. “ප්රියවූ ගෙයද පුත්රයන්ද, ගව මහිෂාදීන්ද, අත්හැර රාගයද ද්වේෂයද අත්හැර, අවිද්යාවන් පරදවා මුල් සහිත තෘෂ්ණාව උගුල්ලා දමා සන්සිඳුනෙමි. නිවුනෙමි.”
මෙසේ සඞ්ඝා ථෙරී තොමෝ මේ ගාථාව වදාළාය.
සංඝා ථේරී ගාථා
එකකනිපාතො නිට්ඨිතො.
2. දුක නිපාතය
2. 1.
19. “නන්දාවෙනි, ජරාවෙන් ලෙඩවූ කුණුවලින් අපවිත්රවූ කුණුවූ මේ ශරීරය බලව.”
20. රාගාදී වශයෙන් නොගෙන භාවනා කරව. ඉතිරි සහිත මානය දුරුකරව. එසේ මානය නැතිකිරීමෙන් සන්සුන්ව හැසිරෙව.
භාග්යවතුන් වහන්සේ අභිරූප නන්දා නම් හික්මෙන භික්ෂුණියට මේ ගාථාවලින් නිතර අවවාද කරති.”
අභිරූප (ඉතා රූමත්) නන්දා ථේරී ගාථා
2. 2.
21. “නිවන් දැකීමට මාර්ගයවූ යම් මේ බොජ්ඣංග හතක් වෙත්ද, බුදුන් වදාළ පරිදි ඒ ධර්මයෝ මා විසින් පුරුදු කරණ ලදහ.”
22. මා විසින් ඒ භාග්යවතුන් වහන්සේ දක්නා ලදී. මේ අන්තිම ශරීරයය. පුනරුත්පත්තිය ක්ෂය විය. නැවත ඉපදීමක් නැත.”
මෙසේ ජෙන්තා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
ජෙන්තී ථේරී ගාථා
2. 3.
23. “යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුනු තැනැත්තිය මොහොලින් වී කෙටීමෙන්ද ලජ්ජා භය නැති ස්වාමියාගෙන්ද පිළිකුල් බට කර්මාන්තයෙන්ද, පිළුණු ගඳ ගහන මගේ සැළියෙන්ද මිදුනෙමි.
24. මම රාගයද ද්වේෂයද චිව්විට චිව්විට යන අනුකරණයෙන්ම නසමි. ඒ මම ගසමුලට පැමිණ අහෝ සැපයයි සැප වශයෙන් භාවනා කරමි.”
මෙසේ සුමඞ්ගලමාතා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සුමංගල මාතා ථේරී ගාථා