පාරායනානුගීතිගාථා
1136. “නිර්මලවූ උතුම් ප්‍රඥා ඇති ආශා රහිත කෙළෙස් වනයන් නැති ශ්‍රේෂ්ඨයන් වහන්සේ යම්සේ දැක්කේද, එසේ දේශනාකළසේක. පාරායන ධර්මය අනුව ගියෙමි. කවර කරුණක් නිසා බොරු කියම්දැයි පිංගියතෙම” කීයේය.
1137. “මානය හා ගුණමකුකම දුරුකළ ගෙවා දැමූ කෙලෙස් මල හා මෝහය ඇති බුදුරදුන්ගේ ගුණ වර්ණනාවෙන් යුක්ත වචනය” දැන් මම කියන්නෙමි.
1138. “පසැස් ඇති මෝහ අඳුර නසන චතුරාර්ය සත්‍යය අවබෝධකළ ලෝකයාගේ කෙළවරට ගිය, සියලු භවයන් ඉක්මවූ කෙළෙස් නැති සියලු දුක් දුරුකළ සත්‍යවූ ‘බුද්ධ’ යන නම් ඇති උන්වහන්සේ බ්‍රාහ්මණවූ මා විසින් ආශ්‍රය කරණ ලද්දේ වෙමි.
1139. “යම්සේ පක්ෂිතෙම කුඩා වනය හැර බොහෝ ගෙඩි වර්ග ඇති මහවනයට යේද මෙසේම මමද ස්වල්ප නුවණ ඇතියන් අත්හැර බොහෝ දිය ඇති විලට යන හංසයාමෙන් මෙහි පැමිණියෙමි.
1140. “මත්තෙහි ගෞතම ශාසනය වන්නේයයි යමෙක් මට ප්‍රකාශ කළෝද සිතීම් ඇතිකරවමින් ඒ සියල්ල එසේම විය.
1141. “අවිද්‍යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක.
1142. “යම් බුදුකෙනෙක් මෙලොව පලදෙන කල්නොයවා විපාක දෙන ධර්මය දේශනා කළසේක්ද කෙලෙස් උවදුරු නැති තෘෂ්ණාව දුරුකළ උන්වහන්සේට සමාන කළ යුත්තක් නැත.
1143. “පිඞ්ගිය, මහා ප්‍රඥාව නැමැති ධජය ඇති ඒ ගෞතමයන් වහන්සේ කෙරෙන්, මහා නුවණ ඇති ඒ ගෞතමයන් වහන්සේ කෙරෙන් ඔබ කිම, මොහොතක්වත් වෙන්ව වසන්නේ?
1144. ඔබට යම් කෙනෙක් මෙලොවදීම දැකිය හැකි (සන්දිට්ඨික) වූ, කල් නොයවා ඵල දෙන (අකාලික) වූ, තෘෂ්ණාව ක්ෂය වූ, කෙලෙස් උවදුරු නැති ධර්මය දේශනා කළ සේක් ද, යම් කෙනෙකුට කිසි තැනක උපමාවක් නැත් ද,”
1145. “බ්‍රාහ්මණය, මහා ප්‍රඥාව නැමැති ධජය ඇති ඒ ගෞතමයන් වහන්සේ කෙරෙන්, මහා නුවණ ඇති ඒ ගෞතමයන් වහන්සේ කෙරෙන් මම මොහොතක්වත් වෙන්ව නොවසමි.
1146. “යම් බුදුකෙනෙක් මෙලොව පලදෙන කල්නොයවා විපාක දෙන ධර්මය දේශනා කළසේක්ද කෙලෙස් උවදුරු නැති තෘෂ්ණාව දුරුකළ උන්වහන්සේට සමාන කළ යුත්තක් නැත.
1147. “රෑ දාවල් දෙක්හි අප්‍රමාද වූයේ ඒ බුදුන් වහන්සේ ඇසින් මෙන් සිතින්ද දකිමි. රාත්‍රියෙහි නමස්කාර කරමින් සිටිමි එයින්ම වෙන් නොවූ බව දනිමි.
1148. “මාගේ ශ්‍රද්ධාවද ප්‍රීතියද යහපත් සිතද සිහි ඇති බවද ගෞතම ශාසනයෙන් ඉවත් නොවෙත් මහාප්‍රඥා ඇති බුදුරජ තෙම යම් යම් දිශාවක ගමන් කෙරේද, ඒ ඒ දිශාවට නැමුනේ වෙමි.
1149. “දුර්වල ශරීර ඇති වයස්ගතවූ මාගේ ශරීරය ඒ නිසාම ඒ බුදුන් වෙත නොයයි, සිහි ඇති ස්වල්ප ගමනින් නිතර යමි. බ්‍රාහ්මණය, යම්තැනක බුදුරදුන්වේද මාගේ සිත එහිමය.
1150. “කාම මඩෙහි නිදන්නේ සැලෙන්නේ, ශාස්තෘවරයෙකුගෙන් ශාස්තෘවරයෙකු වෙත ගියෙමි. ඉක්බිති කාමාදී සැඩවතුරු තරණය කළ කෙලෙස් නැති බුදුන්වහන්සේ දිටිමි.