5. 15.
මොඝරාජසුත්තං
1122. “මම දෙවාරයක් විචාළෙමි. තුන්වෙනි වාරයෙහි විශුද්ධිදෙවිවූ ඍෂිතෙමේ මාගේ ඇසීම ප්රකාශ කරන්නෙහියයි” ආයුෂ්මත් මොඝරාජතෙමේ කීයේය.
1123. “මෙලොවද, පරලොවද, දෙවියන් සහිත බ්රහ්මලෝකයද යන මේ තැන්හි කීර්ති ඇති ගෞතමයන් වහන්සේගේ දෘෂ්ටි නොදනිමි.
1124. “මෙසේ උතුම් දේ දක්නාවූ බුදුරජාණන් වෙත ප්රශ්න ඇසීම ප්රයෝජන කොට පැමිණියේවෙමි. කෙසේ නොම බලන්නාහු මාරතෙම නොදකීදැයි” (මොඝරාජ තෙම ප්රශ්න කළේය.)
1125. “මොඝරාජය, හැම කල්හි සිහි ඇත්තේ ලෝකය ශුන්ය වශයෙන් බලව ආත්ම දෘෂ්ටිය තරණය කොට සිටියේ මාරයා ඈත්කළේ වන්නේය. මෙසේ ලොව බලන්නහු මාරතෙම නොදක්නේය.”
මොඝරාජසුත්තං පණ්ණරසමං.
5. 16.
පිඞ්ගියසුත්තං
1126. “දුර්වලවූ, දුර්වර්ණවූ වයස්ගත කෙනෙක්වීමි. ඇස පෙණීම අඩුය, ඇහීම අපහසුය. අතර සිහිමුලාව මම නොනසිම්වා, ඉපදීම හා ජරාවගේ දුරුකිරීම මෙහිදීම මම දැනගනිම්ද? එබඳු ධර්මයක් දේශනා කරණු මැනවයි’ පිංගියතෙම කීයේය.
1127. “පිංගිය, රූප හේතුවෙන් වෙහෙසෙනු ලබන්නවුන් දැක රූප හේතුවෙන්ම ජනයෝ පෙළෙත්. පිංගිය, එහෙයින් තෝ ප්රමාදනුවූයේ නැවත නොලැබීම පිණිස, රූපය දුරු කරවයි” භාග්යවතුන් වහන්සේ වදාළහ.
1128. “සතර දිශාවෙහිද සතර අනුදිශාවෙහිද, උඩ, යට යන මේ දශ දිශාවෙහිම ඔබවහන්සේ නොදැකී. නොඇසූ, ස්පර්ශ නොකළ දෙයක් නැත. එසේම, ලෝකයෙහි නොදන්නා කිසිවක් නැත. මෙහි ජාති, ජරාවගේ දුරුකිරීමට යම් ධර්මයක් මම දැනගනිම්ද, ඒ ධර්මය දේශනාකරණු මැනවයි. පිංගියතෙම කීයේය.
1129. “පිංගිය, තෘෂ්ණාවේ ගැලුනාවූ මිනිසුන් බලන්නේ ශාන්තවූ ප්රජාව ජරාවෙන් දුරුයයි දැන, එහෙයින් පිංගිය තෝ ප්රමාදනුවූයේ නැවත නූපදීම පිණිස තෘෂ්ණාව දුරුකරව්.”
පිඞ්ගියසුත්තං සොළසමං.
“භාග්යවතුන් වහන්සේ මෙසේ වදාරා මගධ රට වැඩ වාසය කරණසේක් පාෂාණක චෛත්යයෙහි සිටි බ්රාහ්මණයන් දහසය දෙනෙකුන් විසින් ආරාධනා කරණ ලද්දේ ඇසූ ප්රශ්න විසඳූසේක. එක් ප්රශ්නයකගේ අර්ථය දැන, ධර්මය දැන ධර්මානුධර්මයෙහි පිළිපදනේ නම් ජාති, ජරා, මරණයාගේ කෙළවරට යන්නේය. මේ ධර්මයෝ (පුද්ගලයා) එතරට යවන බැවින් මේ ධර්ම ක්රමයට “පාරායන” යයි තවත් නමෙකි.
1130. අජිතය, තිස්ස මෙත්තෙය්යය, පුණ්ණකය එසේම මෙත්තගුය, ධොතකය, උපසීවය, නන්දය, එසේම හේමකය,
1131. තොදය්යය කප්ප යන දෙදෙනාය නුවණැති ජතුකණ්ණිය, භද්රාවුධය, උදයය, පොසාල බ්රාහ්මණය, ප්රඥාවත් මොඝරාජය, පිංගිය මහාඍෂිවරයාය
1132. යන මොවුහු මහර්ෂීවූ චරණ ධර්මයන්ගෙන් යුක්තවූ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ වෙත නිපුණවූ ප්රශ්නයන් විචාරනු පිණිස පැමිණියාහ.