4. 9.
මාගන්දිය සූත්‍රය
839. “තණ්හාවද, අරතියද, රගාද යන මාර දුහිතෲන් දැකත් මෛථුන සෙවනයෙහි කැමැත්තක් නොවීය. දෙතිස් කුණින් පිරුණ මේ ශරීරය දැක මෙවුන්දම් සෙවීම තබා පයින්වත් ස්පර්ශ කරන්නට නොකැමැතිවෙමි.”
840. “ඉදින් බොහෝ රජුන් විසින් පතන ලද මෙබඳු ස්ත්‍රීරත්නයක් නොකැමැත්තෙහි නම් ඒ දැකීම ද ශීලයද වත පිළිවෙතද ජීවිතයද උත්පත්තියද කෙබඳුදැයි වදාළ මැනව.”
841. “මාගන්දිය, (දෙසැට) දෘෂ්ටීන් නිශ්චය කොට තදින් ගත් මේ දෘෂ්ටි ගැනීම කියමියි” ඒ මට අදහසක් නොවේ. දකිමිනුත් කිසිදෘෂ්ටියක් තදින් නොගෙන නිර්වාණය සොයන්නෙමි. එය මනාකොට දිටිමි’යි භාග්‍යවතුන් වහන්සේ (වදාළ සේක.)
842. “විනිශ්චය කරනු ලබන (දෘෂ්ටි) යම් කෙනෙක් වෙත්ද, මුනිතුමනි, ඒවා නොගෙන (බැහැර කොට) අභ්‍යන්තර ශාන්තිය යන්න යම් මේ අර්ථයක් කියන්නෙහිද, එය ඥානවන්තයන් විසින් කෙසේ ප්‍රකාශ කරන ලද්දක්ද?”
843. (භාග්‍යවතුන් වහන්සේ) “මාගන්දිය, මම දැක්මෙන් ඇසීමෙන්, (සමාපත්ති) ඥානයෙන් බාහිර ශීල ව්‍රතයෙන්ද මිදීම නොකියමි. නොදැක්මෙන්, නොඇසීමෙන් නොදැනීමෙන් ශීලයෙන් වෙන්වී ධුතාංග ව්‍රතයෙන් වෙන්වී, නොකියමි. මොවුන්ද හැරදමා, තදින් නොගෙන ශාන්තවූයේ, ඇසුරු කිරීමෙක් නැතිව සසර නොපතන්නට සමත්වේ.”
844. (මාගන්දිය බමුණා මෙසේ කීයේය.) “ඉදින් වනාහී දැකීමෙන් ශුද්ධිය නොකියන්නේ නම් ඇසීමෙන් දැනීමෙන් සිල්වත් බවින්ද ශුද්ධිය නොකියයි නම්, නොදැක්මෙන් නොඇසීමෙන් නොදැනීමෙන් අශීලවත්වීමෙන් අව්‍රතයෙන්ද ශුද්ධිය නොකියන්නේ නම්, මම ඔබගේ මේ ධර්මය මහා මුළාවකැයි හඟිමි ඇතැමෙක් දෘෂ්ටියෙන් සංසාර මුක්තිය අදහත්මය.”
845. “මාගන්දිය, නුඹ දෘෂ්ටිය නිසා නැවත නැවතත් අසන්නෙහිය. දැඩිවගත් දෙයෙහි මුළාවට පැමිණියෙහිය. මෙයිනුදු ස්වල්ප මාත්‍රවූද හැඳිනීමක් නොදැක්කෙහිය. ඒ කාරණයෙන් නුඹ මහා මුළාවක් වශයෙන් දැක්කෙහියයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
846. “යමෙක් තෙම සමානයයි හෝ නොහොත් ශ්‍රේෂ්ඨ යයි හෝ නැත හොත් හීනයයි හෝ සිතාද හෙතෙම එයින් විවාද කරන්නේය. ත්‍රිවිධ මානයෙන් කම්පා නොවන්නේ සමානයයි කියා හෝ ශ්‍රේෂ්ඨ යයි කියා හෝ ඔහුට නොවන්නේය.
847. “ඒ ක්ෂීණාශ්‍රවතෙම සත්‍යයයි කුමක් නිසා කුමකට කියන්නේද? බොරුයයි හෝ කවුරුන් සමග වාද කරන්නේද, යමකු කෙරෙහි සම බවක් හෝ තවද විෂම බවක් හෝ නැද්ද? හෙතෙම කවරක්හු හා වාදයෙහි යෙදෙන්නේද?