3. 12.
ද්වයතානුපස්සනා සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ මිගාරමාතා නම්වූ විශාඛාවන් විසින් කරවන ලද පූර්වාරාමයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි භාග්යවතුන් වහන්සේ සඳ පිරුණු පසළොස්වක් පොහෝ දිනයෙහි රාත්රියෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එලිමහනෙහි වැඩ සිටිසේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තුෂ්ණිම්භූතව වැඩ සිටි භික්ෂු සංඝයා බලා වදාරා භික්ෂූන්ට ආමන්ත්රණය කළසේක.
මහණෙනි, ආර්යවූ නික්මීම ඇතිකරන්නාවූ අර්හත්වයට පමුණුවන්නාවූ යම් ඒ කුශල ධර්ම කෙනෙක් ඇද්ද, මහණෙනි, ආර්යවූ නික්මීම ඇතිකරන්නාවූ අර්හත්වය දෙන්නාවූ ඒ කුශල ධර්මයන් ඇසීමෙන් කවර ප්රයෝජනද, මහණෙනි. මෙසේ විචාරන්නාහු ඇත්තාහ. තොප විසින් ඔවුන්ට කොටස් දෙකකින් යුත් කරුණු දැන ගැනීමටයයි, මෙසේ කිවයුත්තාහ.
කවර දෙවිධියක්යයි කියන්නහුද?
මේ දුකය මේ දුක ඉපදීමට හේතුවය යන මේ එක් අනුපස්සනාවකි. මේ දුක් නිරුද්ධවන තැනය, මේ දුක් නිරුද්ධ කිරීමට යන ප්රතිපදාවය යන මේ දෙවෙනි අනුපස්සනාය. මහණෙනි, මෙසේ මනාකොට ද්වයතානුපස්සීව වසන, අප්රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව නිවන වෙත යැවූ සිත් ඇති මහණහට මෙලොවම රහත්බව හෝ ඉපදීම ඇති කල්හි අනාගාමි බව යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුත්තාහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
727. යම් කෙනෙක් දුක නොදනිද්ද නැවත දුක හටගැනීමද නොදනිද්ද, යම් තැනෙක්හි සර්වප්රකාරයෙන් දුක ඉතිරිනොවී සංසිදේද, එයද දුක් සංසිඳීමට යන මාර්ගයද නොදනිද්ද,
728. චිත්ත විමුක්තියෙන් හීනවූ නැවත ප්රඥා විමුක්තියෙන්ද හීනවූ ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට අභව්යය, ඔව්හු ඒකාන්තයෙන් ඉපදීම හා ජරාවට පැමිණියාහුය.
729. යම් කෙනෙක් ඒකාන්තයෙන් දුක දනිද්ද, නැවත දුක ඉපදීමට හේතුව දනිත්ද, යම් තැනෙක්හි දුක ඉතිරි නොකොට සිදේද, දුක් සන්සිඳුවීමට යන ඒ මාර්ගය දනිත්ද,
730. චිත්ත විමුක්තියෙන් සම්පූර්ණ වූ නැවත ප්රඥා විමුක්තියෙන්ද සම්පූර්ණ වූ ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට සුදුසුය. ඔව්හු ඉපදීම හා ජරාවට නොපැමිණෙත්.
ඉදින් අනික් ක්රමයකින් මනාකොට ධර්ම දෙකක් නුවණැසින් දැනීම් ඇත්තාහු දැයි විචාරන්නාහු වන්නාහ. ඇත්තාහයි කිව යුත්තාහ. කෙසේ වන්නේද? යම්කිසි දුකක් හටගනීද සියල්ල උපධි (කෙලෙස්) හේතුකොටගෙන යයි මේ එක් අනුපස්සනාවකි. උපධීන්ගේම ඉතුරු නොකොට වෙන්වීමෙන් නිරුද්ධ කිරීමෙන් දුක හටගැනීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාය. මෙසේ මනාකොට ද්වයතානුපස්සීව වසන...පෙ... නැවතද ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක:
731. ලෝකයෙහි යම්කිසි නොයෙක් රූපයෝ වෙත්ද ඒ නිසා ඇතිවන දුක් උපධි (කෙලෙස්) නිසා හටගනී. යමෙක් නොදැන උපධි රැස් කරයිද, මන්ද බුද්ධිකතෙමේ නැවත නැවත දුකට පැමිණේ. එහෙයින් දුක හටගැනීමට හේතුව උපධි (කෙලෙස්) යයි දැන දන්නා තැනැත්තේ උපධි නොකරන්නේය.
අනික් ක්රමයකින් මනාකොට දෙකක් අනුව බලන්නේ ඇද්දැයි අසන්නාහු වන්නාහ. ඇතැයි කිව යුත්තාහ. කෙසේ වන්නේද? යම්කිසි දුකක් හටගනීද, සියල්ල අවිද්යා හේතුකොටයයි මෙය එක් බැලීමකි. අවිද්යාව ඉතිරි නොකොට නැතිකිරීමෙන් දුක් හටගැනීමක් නැතැයි යන මෙය දෙවෙනි බැලීමය. මෙසේ මනාකොට ද්වයතානුපස්සීව වසන...පෙ... නැවතද ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක: