2. 7.
බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬුමහ සිටාණන්ගේ ආරාමයෙහි වාසය කරණසේක. ඉක්බිති දිරූ, වැඩිමහල්වූ, මහළුවූ කල්ගිය, අන්තිම වයසට පැමිණි, කොසොල් රට වැසි බොහෝ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටුවූහ. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ:
“භවත් ගෞතමයන් වහන්ස, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මයන් දක්වත්ද?”
“බමුණෙනි, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බමුණු ධර්ම නොදක්වත්.”
“භවත් ගෞතමයන් වහන්ස ඉදින් භවත්ගෞතමයන් වහන්සේට බරක්නොවේ නම් අපට පුරාණ බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මය කියතොත් යහපති.”
“එසේ නම් බ්‍රාහ්මණයෙනි, අසව් මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළසේක.
“පින්වතුන් වහන්ස, එසේය”යි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
286. “සන්සුන් සිත් ඇති තපස් ඇති පූර්වඍෂීහු වූවාහුද? පස්කම් සැප හැර තමාගේ යහපත කළාහුය.
287. “පැරණි බමුණන්ට සිවුපා සත්තු නොවූහ. රන් නොවූහ. ධාන්‍ය නොවූහ. මන්ත්‍ර පිරවීම නම්වූ ධන ධාන්‍ය වූවාහ. මෛත්‍රී නිධාන නම් බ්‍රහ්ම (ශුද්ධ සිත්) නිධානය පාලනය කළාහුය.
288. “ගෙනෙනලද දොරටුවෙහි තබනලද මේ බමුණන් උදෙසා ශ්‍රද්ධාවෙන් කරණලද යමක්වේද, එය මොවුන්ට දියයුතුකොට සිතූහ.
289. “නොයෙක් වර්ණවත් වස්ත්‍රයන්ගෙන් හා ආසනයන්ගෙන්ද, වාසස්ථානවලින්ද ජනපද රටවල වාසය කරන්නාහු සමෘද්ධ වූවාහුද ඔහු බමුණන් වැන්දාහ.
290. “ධර්මයෙන් රැකුණු ඒ බ්‍රාහ්මණයෝ පැරදවිය නොහැක්කාහුද, දඬුවම් නොකළයුත්තාහුද වූහ. කිසිවෙක් ඔවුන් කුළගෙවල දොරින් නොවැළැක්වූවාහුය.
291. “ඔව්හු සතළිස් අට වර්ෂයක් කුමාර බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණාහුය. පැරණි බමුණෝ විද්‍යාවන් හා චරණයන් සොයමින් හැසුරුණාහ.
292. “බමුණෝ අනෙකක් කරා නොගියහ. ඔව්හු භාර්යාවන් මිලදී නොගත්තාහ. ඔවුනොවුන් හා ප්‍රෙමයෙන් සමග වාසයට පැමිණ සංවාසය රුචිකළහ.