1. 4.
කසීභාරද්වාජ සූත්‍රය
මවිසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි ඒකානාලා නම් බමුණු ගම්හි දක්ඛිනගිරි විහාරයෙහි වැඩවසනසේක. ඒ කාලයෙහි කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයා විසින් වප් කල්හි පන්සියයක් නඟුල් යොදන ලද්දාහු වෙත්.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරව පා සිවුරු ගෙණ කසීභාරද්වාජ නම් බමුණාගේ භොජනය යම් තැනෙක්හි වේද එතැනට පැමිණිසේක. එකල කසීභාරද්වාජ බමුණාගේ අනුභවය පවතී. බුදුරජතෙම අනුභවය යම්තැනෙක පවතීද එතැනට පැමිණියේය. පැමිණ එකත්පසෙක සිටියේය. කසිභාරද්වාජ බමුණු පිඬු පිණිස හුන් භාග්‍යවතුන් දැක්කේය. දැක භාග්‍යවතුන්ට මෙය කීයේය.
“මහණ මම වනාහි සී සාමි. වපුරමි. සී සා වපුරා අනුභව කරමි. නුඹද මහණ සීසාව, වපුරව, සීසා වපුරා අනුභව කරව.”
“මමද බමුණ සාමි, වපුරමි. සා වපුරා වළදමි”යි වදාළෝ”
“භවත් ගෞතමයන්ගේ වියදඬක් හෝ නඟුලක් හෝ සී වැලක් හෝ කැවිටක් හෝ ගොනුන් හෝ නොම දකිමු. එතකුදු වුවත් භවත් ගෞතමතෙම මෙසේ කියයි. “මම ද බමුණ, සාමි, වපුරමි, සා වපුරා වළඳමි”යි ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන්ට ගාථාවකින් කීයේය.
76. “සාන්නෙකැයි ප්‍රතිඥාකෙරෙහිය, ඔබගේ කෘෂි භාණ්ඩ නොදකිමු. අප විසින් විචාරණලදී. යම්පරිද්දකින් ඔබගේ ඒ උපකරණ දැන ගන්නෙමුද කියනු මැනවි.”
77. “ශ්‍රද්ධාතොමෝ බිජුවටය, තපස වර්ෂාවය, මාගේ ප්‍රඥාව විය හා නඟුල්ය. ලජ්ජාව නඟුලිසය, සිත යොතය ස්මෘතිය මාගේ සීවැල හා කැවිටයි.
78. “රක්ෂාකරණ ලද කාය සුචරිතය ඇත්තෙක්මි. වාක් සුචරිතය ඇත්තෙක්මි. සිවුපසෙහි ආහාරයෙහි සංයතයෙමි. සත්‍යයෙන් තෘෂ්ණා නැති කරමි. අර්හත්ඵල විමුක්තිය මාගේ මිදීමයි.
79. “මාගේ වියධුර ඉසිලීම් සංඛ්‍යාත (කායික චෛතසික) වීර්යය නිවන දක්වා පවතී. යම්තැනකට ගොස් ශෝක නොකෙරේද ඒ දක්වා නොනැවතී යයි.
80. “මෙසේ මේ සීය (මා විසින්) සානලදී. ඒ සීය අමෘතඵල ඇතිවේ. මේ සීය සා සියලු දුකින් මිදේ.”
ඉක්බිති කසීභාරද්වාජ බමුණුතෙම මහත් රන් තලියෙක්හි කිරිබත් බහා යම් හෙයකින් පින්වත් ගෞතම තෙම අමෘතඵල ඇති සීයක් සායිද එහෙයින් පින්වත් ගෞතමයන් වහන්සේ කිරිබත වළඳනසේක්වායි” භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය.