40. “මහා බමුණාණෙනි, හාරිත නම් තපස්වීතෙම කාමයන් අනුභව කෙරේයයි මා විසින් මේ කාරණය අසනලදී. කිමෙක්ද, මේ කීම බොරුද, කිමෙක්ද, පිරිසුදුවූයේ වාසය කෙරෙහිද,
41. “මහරජ, තා විසින් අසනලද වචනය යම්සේද, මේ කාරණය එසේමැයි. නින්දිතවූ මාර්ගයට පිළිපන්නේ වෙමි. මුළාවිය යුතුවූ පඤ්චකාම ගුණයන්හි මුළාවූයේ වෙමි.
42. “සියුම්වූ සියල්ල මනාකොට සිතන්නාවූ ප්‍රඥාව කුමකටද? යම් ප්‍රඥාවකින් උපන්නාවූ රාගය කෙබඳු සිත් ඇත්තේ දුරු නොකරන්නේද,
43. “මහරජ, ලෝකයෙහි යමෙකු කෙරෙහි ප්‍රඥාතොමෝ පිහිට නොලබාද, රාගයද, ද්වේෂයද මදයද මෝහයද යන මේ සතරදෙන අතිශයින් ඉතා බල ඇත්තෝයි.
44. “පූජාවට සුදුසුවූ සිල්වත්වූ පිරිසිදුවූ හාරිත නම් තපස්වීතෙම ප්‍රඥා ඇත්තේය. පණ්ඩිතද වේයයි මෙසේ පින්වත්තෙම අප විසින් සම්භාවනා කරණලදී.
45. “මහරජ, ශුභ වශයෙන් ගත්තාවූ රාගයෙන් යුක්තවූ ලාමකවූ කාම විතර්කයෝ ධර්ම ගුණයෙහි ඇළුණු නුවණ ඇත්තාවූද තපස්වියාට හිංසා කෙරෙත්.
46. “තොපට යහපතෙක් වේවයි, බොහෝදෙනා අතුරෙන් නුවණ ඇත්තේයයි ප්‍රසිද්ධවූයේ විය. තගේ ශරීරයෙහි හටගත්තාවූ ගුණ වර්ණ රූප වර්ණ දෙක කිළුටු කරන්නාවූ මේ රාගය උපන්නේය. එය දුරු කරව,
47. “නුවණ ඇස අන්ධ කරන්නාවූ බොහෝ දුක් ඇත්තාවූ මහත් විෂයක් වැනිවූ ඒ කාමයන් දුරු කිරීමට ඔවුන්ගේ මුල සොයන්නෙමි. රාගය බැඳුම් සහිතව සිඳිමි.
48. “හාරිත නම්වු සත්‍යවූ පරාක්‍රම ඇති තපස්වීතෙම මෙය කියා කාම රාගය දුරුකොට බඹ ලොවට පැමිණියේ විය.”
හරිතචජාතකං (හාරිතජාතකං (සී. පී.)) පඤ්චමං.
49. “බොහෝ ශාස්ත්‍ර දත් විසිතුරු කථා ඇති පාටල නම් ගාන්ධර්වයා ගංගාතොමෝ ගසාගෙන යයි. ගඟ දියෙන් ගෙන යනු ලබනු තැනැත්ත, තට යහපතක් වේවා. මට එක් කුඩා ගාථාවක් කියව.
50. “දුකට පැමිණියහු යම් ජලයකින් තෙමද්ද, ආතුර වූවහු යම් ජලයකින් තෙමෙද්ද, ඒ ජලය මැද මිය යන්නෙමි. එසේවූ පිහිට ඇති තැනින් භය උපනි.
51. “යම් පොළොවෙක බීජයෝ හටගනිද්ද, සත්වයෝ යම් තැනෙක්හි පිහිටියාහුද, ඒ පොළොව මාගේ හිස පෙළයි. පිහිට ඇති තැනින් භය උපනි.
52. “යමක් කරණකොට ගෙණ බත් පිසද්ද, යමක් කරණකොට ගෙණ ශීත නසීද, ඒ මේ ගින්න තෙම මාගේ ශරීරය දවයි. පිහිටවූ තැනින් භය උපනි.
53. “අනුභව කළාවූ යම් ආහාරයකින් බොහෝවූ බ්‍රාහ්මණ ක්ෂත්‍රියයෝ යැපෙද්ද, ඒ ආහාරය තෙම අනුභව කරන ලද්දේ මා විනාශයට පමුණුවයි. පිහිට ඇති තැනින් භය උපනි.
54. “ග්‍රීෂ්ම ඍතූන් සම්බන්ධවූ අන්තිම මාසයෙහි පණ්ඩිතයෝ වාතය කැමතිවෙත්. ඒ වාතය තෙම මාගේ ශරීරය බිඳිනේය. පිහිට ඇති තැනින් භය උපනි.
55. “යම්බඳුවූ ගසක් පක්ෂීහු ඇසුරු කළෝද, ඒ මේ ගස ගිනිපිට කෙරේද, පක්ෂීණි, දිශාවන් භජනය කරව්. පිහිට ඇති තැනින් භය උපනි.
56. “මල්දම් පැලැන්දාවූ සඳුන් සුවඳ ගැල්වූ යමක් සොම්නස් සහිතව ගෙනයෙම්ද, ඒ යෙහෙළිතොමෝ මා ගෙදරින් නෙරපන්නීය. එවැනි පිහිට ඇති තැනින් භය උපනි.
57. “උපන්නාවූ යමකු කරණකොට ගෙණ සතුටුවීම්ද යමකුගේ අභිවෘද්ධිය කැමතිවීම්ද, හෙතෙම මා ගෙයින් නෙරපයි. එසේවූ පිහිට ඇති තැනින් භය උපනි.
58. “රැස්වූ ජනපද වාසීහුද නියම්ගම් වාසීහුද මාගේ වචනය අසත්වා. යම් ජලයෙක් ඇද්ද, ඒ ජලය ගිනි ඇවිල ගත්තේය. යම් රජෙකු කෙරෙන් ක්ෂෙම වේද, ඒ රජහු කෙරෙන් භය උපන්නේය. ඒ කෙසේද යත්.
59. “රජතෙමේද පුරෝහිත බ්‍රාහ්මණයාද රට පැහැර ගණියි. එහෙයින් පිහිට ඇති තැනින් භය උපනි. තෙපි තමන් විසින් රක්ෂා කරණලද්දාහු වාසය කරව්.”
පදකුසලමාණවජාතකං ඡට්ඨං.