1206. “එම්බා නාරදය, යමෙක්තෙම කාමාශාවෙන් ඉන්ද්රියයන්ගේ වසඟයට යේද, හෙතෙම දෙලොව සැප හැරදමා ජීවත්වන්නේ නමුදු කැමැතිදේ නොලත් ශෝකයෙන් වියලේ.
1207. “පස්කම් සැපයට අනතුරුව නිරාදුකට පැමිණෙත්. සිල් රැකීම් වශයෙන් පැමිණෙන දුකට අනතුරුව දෙව් මිනිස් සැපයට පැමිණෙත්. ඒ නාරද ඍෂිතෙමේද නෛෂ්ක්‍රම්‍ය සැපය නසා දුකට පැමිණියේය. උතුම්වූ ඒ ධ්‍යාන සැපය කැමතිවනු මැනව.
1208. “යමෙක් තෙමේ දුක් උපන් කල්හි දුක් ඉවසන්නේද දුක මැඩ විනාශ කෙරේද, ඒ ප්‍රාඥතෙම දුක් කෙළවර ඇති සැපයවූ ධ්‍යානයට මනාව පැමිණේ.
1209. “කාමයන්ට නොම කැමතිවිය යුත්තාහ. අර්ථය රහිතවන හෙයින්ද, අර්ථයට උපකාර නොවන හෙයින්ද, වෙත්. උපදවනලද්දාවූද ධ්‍යානය විනාශකොට කුශල ධර්මයෙන් චුතවන්ට සුදුසු නොවේ.
1210. “ගෘහපතියෙකුට ඇතිවන දුක මැනව. බෙදාදී වැළඳීමද මැනව. මහත්වූ අර්ථලාභයන්හි උඩඟු නොවීමද මැනව. ධන විනාශයෙහි ක්ලාන්ත නොවීමද මැනව.
1211. “ඒ දේවල ඍෂිතෙම යමක් කීයේද, මේ පණ්ඩිත බවද මෙපමණක්මය යමෙක් තෙම ඉන්ද්රියයන්ගේ වසඟයට යන්නේද, මීට වඩා කිසියම් ලාමක බවෙක් නැත්තේය.
1212. “එම්බා සිවි මහරජ, සතුරන්ගේ අතට පත්වූවෙක් වැනි මා මෙන් විනාශයට පැමිණේද, ගොවිතැන්, වෙළඳාම් ආදී කර්මාන්තද හස්තිශිල්ප ආදී විද්‍යාවද ධන රැස්කිරීමෙහි දක්ෂ බවද, විවාහයද, ශීලය හා මෘදුබවද යන
1213. “මෙතෙක් අභිවෘද්ධිදායක කරුණු නසා ස්වකීය අකුශල කර්මයෙන් මනුෂ්යප්රේතව උපන්නාවූ ඒ මම දහසකින් පැරදුණාහු මෙන් නෑයන් රහිතවූයේ පිළිසරණ රහිතවූවෙක් වෙමි.
1214. “ආර්ය ධර්මයෙන් පහව ගියාවූ මම ප්‍රෙතයෙක් යම්සේද එමෙනි. සැප කැමැත්තවුන් දුක් පත්කරවා මේ මනුෂ්‍යප්‍රෙත බවට පැමිණියෙමි. ඒ මම ගින්නෙහි සිටියෙකු මෙන් සැපයට නොපැමිණෙමි.
7. ඉන්ද්රිය ජාතකය.
1215. “ගෘහය ගිනිගත් කල්හි යම්කිසි භාණ්ඩයක් බැහැර කෙරේද, ඒ ගෘහ ස්වාමියාහට වැඩ පිණිස වේ. යමක් එසේ බැහැර නොකරණලදද එය එහි හළුවේ.
1216. “එපරිද්දෙන් ලෝකයතෙම ජරාවෙන්ද මරණයෙන්ද ගිනිගන්නා ලද්දේය. දන්දීමෙන්ම බැහැර කරන්නේය. දෙනලද්ද, මනාකොට බැහැර කරණ ලද්දේ වේ.
1217. “යම් සත්වයෙක්තෙම උට්ඨාන (නැඟීසිටින) වීර්යයෙන් ලබනලද දැහැමින් ලබනලද දෙයින් දන්දේද, හෙතෙම යමයාගේ වේතරණී නම් නරකය ඉක්මවා දිව්‍ය සම්පත්වලට පැමිණේ.
1218. “දන් දීමද යුද්ධ කිරීමද සමානයයි කීහු. ස්වල්පවූද හරිනාලද ජීවිතාශා ඇත්තෝ බොහෝ සතුරන් දිනත්. නොහොත් කුශල ධර්මයෝ ස්වල්ප වූවාහුද, බොහෝ වූ අකුශලයන් දිනත්. ඉදින් ස්වල්පයකුදු කම්පල අදහමින් දේද, එහෙයින්ම හෙතෙම පරලොව සුවපත් වේ.