950. “ශිලා පර්වතයෙහිද පාංශු පර්වතයෙහිද, පර්වත විවරයෙහිද හැසිරෙන්නාවූ “මය්හං මය්හං” කියා හඬන හෙයින් මය්හක නම්වූ පක්ෂියෙක් පැසුනු ගෙඩි ඇති පුළිල ගසකට නැඟී මාගේ මාගේ යයි කියා හඬයි.
951. “මෙසේ හඬන්නාවූ ඔහුගේ පුළිලගෙඩි රැස්වූ පක්ෂි සමූහයා අනුභව කොට යත්. ඒ පක්ෂි තෙමේ හඬාමැයි.
952. “එපරිද්දෙන්ම මේ ලෝකයෙහි සමහරෙක් බොහෝවූ වස්තුව රැස්කොට කොටස්වූ පරිද්දෙන් තමහටද නොම ප්‍රයෝජන කරයි. නෑයන්ටද දියයුතු පරිද්දෙන් නොදෙන්නේමැයි.
953. “හෙතෙම වස්ත්‍රද බත්ද එකවරක් නොඅනුභව කෙරෙයි. මල් නොපළඳියි, විලවුන් නොගනියි, කිසි නෑ කෙනෙකුන්ටද සංග්‍රහ නොකෙරෙයි.
954. “මාගේ මාගේයයි රක්නාවූ මෙසේ හඬන්නාවූ ඔහුගේ වස්තුව රජවරුද, නොහොත් සොරුද, අප්‍රියයෝද හිමියෝද ගෙණයත්. ඒ මනුෂ්‍යතෙමේ හඬාමැයි.
955. “ප්‍රාඥතෙමේ වනාහි සම්පත්තියට පැමිණ නෑයන්ටද සංග්‍රහ කෙරෙයි. එයින් කීර්තියටද පැමිණෙයි. පරලොවද “ස්වර්ගයෙහි සතුටුවෙයි.”
5. මය්හකජාතකං.
956. “යහපත්වූ වර්ණ ඇති ඔබ දුර්වර්ණරූප ඇත්තහු ඉදිරිකොට ඇඳිලිබැන්දේ නමස්කාර කෙරෙහිය. මෙතෙම ඔබට උතුම්ද, නොහොත් සමානයෙක්ද, අනිකාගේද, තමාගේද නාමය කියව,
957. “රාජය, සම්‍යක් ප්‍රතිපන්නවූද, ඍජුව පිළිපන්නා වූද, උතුම්වූ විශුද්ධි දෙවියන්ගේ නාම ගොත්‍ර දෙක උත්පත්ති දෙවතාවෝ නොගණිත්. මම වනාහි තට මාගේ නම කියමි. තව්තිසා වැසි දෙවියන්ට අධිපතිවූ මම ශක්‍රනම් වෙමි.
958. “දෙව රාජය මේ කාරණය ඔබ විචාරමි. මරණයෙන් යුක්තවූ භික්ෂුවක්හු දැක අභිමුඛකොට බදැඳිලිවූයේ යමෙක් නමස්කාර කෙරේද, හෙතෙම මෙයින් චුතවූයේ කිනම් සුවයක් ලබන්නේද,
959. “යමෙක් චරණයෙන් යුක්තවූ භික්ෂුවක්හුදැයි අභිමුඛ කොට බදැඳිළිව නමස්කාර කෙරේද? හෙතෙම මේ ආත්මයෙහිම ප්‍රශංසාව ලබයි. ශරීර භෙදයෙන් මතු ස්වර්ගයටද පැමිණෙයි.
960. “අද දෙවතාවන්ට ස්වාමිවූ ශක්‍රයා යම් හෙයකින් දුටුවෙමුද, එහෙයින් මට ලක්ෂමී තොමෝ පහළ විය ශක්‍රය, භික්ෂුවද ඔබද දැක බොහෝවූ පුණ්‍යයන් කරන්නෙමි.
961. “බහුශ්‍රැතවූ බොහෝ කරුණු සිතන්නාවූ ප්‍රඥා සහිතවූ යම් කෙනෙක් ඇද්ද, ඔව්හු ඒකාන්තයෙන් සේවනය කටයුත්තාහ. රාජය, මේ භික්ෂුහූද මාද දැක බොහෝවූ පින් කරව.
962. “දෙවරාජය, ඔබගේ සුභාෂිතයන් අසා ක්‍රොධ නැත්තේ නිරන්තරයෙන් ප්‍රසන්නවූ සිත් ඇත්තේ සියලු ආගන්තුගයන්ගේ ඉල්ලීමට සුදුසු නුවූයෙම් මාන්නය නසා අභිවාදනය කරන්නෙමියි” කීයේය.
6. විජ්ජාධර (ධජවිහෙඨක (සී. පී.), පබ්බජිතවිහෙඨක (ස්‍යා.)) ජාතකං.
963. “යම් හෙයකින් දියෙහි හටගත්තාවූ කයින් වචනින් නුදුන්නාවූ මේ නෙළුම් මල සුඹුනෙහිද මෙය අදත්තාදාන චේතනාවන්ගේ එක් කොටසකි. නිදුකාණෙනි, එසේ හෙයින් සුවඳ සොරෙක් වෙහිය.
964. “පද්මය හැරගෙණ නොයමි, නොබිඳිමි, දුර සිට සුඹුනෙමි. එසේ කල්හි කවරකාරණයකින් සුවඳ සොරායයි කියනු ලැබේද?
965. “යමෙක් යම් හෙයකින් නෙළුම් අල සාරයිද, හෙළ නෙළුම් බිඳීද, මෙසේ දරුණු කර්මාන්ත ඇති මේතෙම සොරායයි නොකියනු ලැබේද?
966. “ගැවසීගත් රෞද්‍රබව ඇති පුරුෂතෙම කිරි මවකගේ ඉතා කිළුටු වස්ත්‍රයක් මෙන් පවින් වැකුණේමය. එසේ හෙයින් ඔහු කෙරෙහි මාගේ වචනයක් නැත. ඔබට වනාහි කියන්නට සුදුසු වෙමි.
967. “නිර්දෝෂවූ නිරන්තරයෙන් පිරිසුදු ගුණධර්මයන් සොයන්නාවූ පුරුෂයාගේ පාපය සම්බන්ධව කෙසඟක් පමණවූද දෝෂය මහාමේඝයක් ප්‍රමාණව වැටහෙන්නේය.
968. “යක්ෂය, ඒකාන්තයෙන් මා හඳුනන්නෙහිය නැවත මට අනුකම්පා කරව. යක්ෂය, යම් කලෙක්හි මෙබඳු වරදක් දක්නෙහිද, එකල්හි නැවතද අවවාද වශයෙන් කියව.
969. “භික්ෂුව” තා අනුව ජීවත් නොවෙමි. තාගේ බැළයෙන්ද ජීවත් නොවම්හ. යම් ගුණධර්මයකින් සුගතියට යන්නේ නම් එය ඔබම දැන ගන්නෙහියයි” කීයේය.
7. සිඞ්ඝපුප්ඵ (භිසපුප්ඵ (සී. පී.), උපසිඞ්ඝපුප්ඵ (ස්‍යා.)) ජාතකං.