58. “මනා විසිතුරු පියාපතින් කළ සෙවෙනි ඇති එල්ලෙන සිළු ඇති පක්ෂිරාජය, දෘම ශාඛාවෙන් හෙවත් ගස අත්තෙන් බසිනු මැනව. ඔබට කිසිවක් නොගෙණ නිකම්ම භාර්යා වෙමි.
59. “කළ්‍යාණිය, තී සිව්පා ඇත්තී වෙහි. මනහර තැනැත්තිය, මම දෙපා ඇත්තෙමි. සිව්පා ඇති තී හා දෙපා ඇති මම නුසුදුස්සහ. හෙවත් නොගැළපෙති එහෙයින් අනික් සැමියෙකු සොයාගණුව.
60. “ඔබට බාල කල පටන් අන් පුරුෂ සංගමයක් නොකළ අඹුවක් වන්නෙමි. මිහිරි කථායෙන් ප්‍රිය තෙපුල් කියන්නියක් වෙමි. සුන්දරවූ ප්‍රතිලාභයෙන් මා ප්‍රතිලාභය කරව. ඉදින් කැමැත්තෙහි නම් මා දාසියක්කොට අස්වව.
61. “පක්ෂීන් අනුභව කරන්නාවූ ලේ බොන්නාවූ සෙරවූ කුකුළන් මරන්නී වූ තී බ්‍රහ්මචරිය ලාභයෙන් ස්වාමිවූ මා කැමැත්තී නොවෙහියයි කීයේය.
62. “මෙසේ දක්ෂවූ ස්ත්‍රීහුද, පුරුෂයෙකු දැකම සිළුටුවූ තෙපුලෙන් බැළලී කුකුලකු මෙන් තමන් වසඟබවට පමුණුවත්.
63. “යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහා දැන නොගණීද, එසේ වූයේ සතුරන්ගේ වසඟයට පැමිණේ. පසුව තැවෙන්නේදවේ.
64. “යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැනගණීද, හෙතෙමේ බැළලිය කෙරෙන් මිදුනාවූ කුකුළා මෙන් සතුරා කෙරෙන් මිදෙන්නේයි”
8. කුක්කුට ජාතකය.
65. “නෑයෙනි, කුශලධර්මයෙහි හැසිරෙව. නැවත නැවත කුශල ධර්මයෙහි හැසිරෙව්. තොපට යහපතක් වන්නේය. කුශලධර්මයෙහි හැසිරෙන තැනැත්තේ මෙලොවද, පරලොවද සුවසේ සයනය කරයි.
66. “එකපසින් සිටින්නාවූ පක්ෂිතෙමේ ධර්මයක්ම අනුශාසනා කෙරේද එහෙයින් උතුම් ධර්මයෙහි පිහිටියාවූ මේ පක්ෂිතෙමේ ඉතා යහපත්වේ.
67. “මොහුගේ ශීලයක් නොදනිව්. ශීලාදී ගුණයක් ඇතැයි නොදැන ප්‍රශංසා කරන්නහුය. හෙතෙම බිජුවටද පැටවුන්ද අනුභවකොට ධර්මය ධර්මයයි කියයි.
68. “වචනයෙන් අනිකක් කියයි. ශරීරයෙන් අනිකක් කෙරෙයි. වචනයෙන් ධර්මයයි කියයි. කයින් නොකරයි. හෙතෙම ඒ ධර්මයෙහි පිහිටියේ නොවෙයි.
69. “වචනයෙන් සිළුටුවේ. සිතින් නොවැදගත හැක්කේය. හෙවත් විසම කල්පනා ඇත්තෙක. සැඟවුනු අදහස් ඇත්තේය. ලිඳෙහි හෝනා කෘෂ්ණ සර්පයෙකු වැනිවූ ධර්මය ධ්වජයක්කොට ඇවිදිනාවූ ගම් නියම්ගම්වල යහපතැයි සම්මතවූ මේ දුශ්ශීලයා අඥාන පුරුෂයා විසින් දැනගත නොහැක්කේය.
70. “මොහු කුඩුවලින්ද, පියාපත්වලින්ද, පාවලින්ද, පහර දෙව් ලාමකවූ මොහු වනසව්. මෙතෙම එකතැන වාසයට සුදුස්සෙක් නොවේයයි” කීයේය.
9. ධර්මධ්වජ ජාතකය.
71. “බමුණ සාකෙත නම් නුවර අනජ වන නම් උයනට ඉදින් යන්නෙහි නම් තාගේ මව්ද පියාද යන මහලුවූ ඔහු දෙදෙන තා දක්නට කැමැත්තාහයි අපගේ ඖරස පුත්‍ර නන්දිය නම්වූ ඒ පුත්‍රයාට කියවයි” කීහ.
72. “බමුණ, රජුගේ ගෝචර පිණිස වපුරණ ලද තෘණයෝ මා විසින් අනුභව කරණ ලදහ. පැන් හා බොජුන් අනුභව කරණ ලදී. මේ රජහු සතුවූ පිණ්ඩය නපුරුකොට අනුභව කරන්නට මම උත්සාහ නොකරමි.
73. “මහ හීයෙන් යුක්තවූ අත් ඇති රජුට මාගේ පාර්ශවය (ඇලය) මම එලවන්නෙමි. (පා සිටින්නෙමි) එකල්හි සුවපත්වූ මරණින් මිදුනාවූ මම මෑණියන් දක්නෙම් නම් යෙහෙකියි” කීය.
74. “කොසොල් රජහුගේ උයනෙහි විශිෂ්ට රූ ඇති පා සතරක් ඇති නමින් නන්දිය නම්වූ මෘග රාජයෙක් පෙර වූයෙම්ද.
75. “මුවන්ගේ නිවාසය පිණිස දෙනලද අජත වන නම් උයනෙහි කොසොල් රජතෙම දුන්න දුනුදිය සමග නගාලා ශරය දුනුදියෙහි පිහිටුවා ඒ මා විදින්ට ආයේය.
76. “හී තල ගත් අත් ඇති ඒ රජුට මාගේ මහා පාර්ශවය මම එල්වීමි. හෙවත් මා මරවයි ඇලය පා සිටියෙමි. එකල්හි සුවපත්වූ මරණින් මිදුනාවූ මම මෑණියන් දක්නට ආයේ වෙමියි” වදාළෝ
10. නන්දියමිග ජාතකය.
පළමුවන අවාරිය වර්ගයයි.
එහි උද්දානය:
ඉක්බිති කුජ්ඣ, රථෙසභ, වරසෙතකෙතු, දරීමුඛ, නේරු, ආසා (ආසංක), නන්ද (මිගාලොප), සිරි (සිරිකාලකණ්ණි), සුචිත්ත (කුක්කුට), ධම්මික (ධම්මධජ), නන්දිමිග යන ජාතක දසයයි.