71. “බමුණ සාකෙත නම් නුවර අනජ වන නම් උයනට ඉදින් යන්නෙහි නම් තාගේ මව්ද පියාද යන මහලුවූ ඔහු දෙදෙන තා දක්නට කැමැත්තාහයි අපගේ ඖරස පුත්‍ර නන්දිය නම්වූ ඒ පුත්‍රයාට කියවයි” කීහ.
72. “බමුණ, රජුගේ ගෝචර පිණිස වපුරණ ලද තෘණයෝ මා විසින් අනුභව කරණ ලදහ. පැන් හා බොජුන් අනුභව කරණ ලදී. මේ රජහු සතුවූ පිණ්ඩය නපුරුකොට අනුභව කරන්නට මම උත්සාහ නොකරමි.
73. “මහ හීයෙන් යුක්තවූ අත් ඇති රජුට මාගේ පාර්ශවය (ඇලය) මම එලවන්නෙමි. (පා සිටින්නෙමි) එකල්හි සුවපත්වූ මරණින් මිදුනාවූ මම මෑණියන් දක්නෙම් නම් යෙහෙකියි” කීය.
74. “කොසොල් රජහුගේ උයනෙහි විශිෂ්ට රූ ඇති පා සතරක් ඇති නමින් නන්දිය නම්වූ මෘග රාජයෙක් පෙර වූයෙම්ද.
75. “මුවන්ගේ නිවාසය පිණිස දෙනලද අජත වන නම් උයනෙහි කොසොල් රජතෙම දුන්න දුනුදිය සමග නගාලා ශරය දුනුදියෙහි පිහිටුවා ඒ මා විදින්ට ආයේය.
76. “හී තල ගත් අත් ඇති ඒ රජුට මාගේ මහා පාර්ශවය මම එල්වීමි. හෙවත් මා මරවයි ඇලය පා සිටියෙමි. එකල්හි සුවපත්වූ මරණින් මිදුනාවූ මම මෑණියන් දක්නට ආයේ වෙමියි” වදාළෝ
10. නන්දියමිග ජාතකය.
පළමුවන අවාරිය වර්ගයයි.
එහි උද්දානය:
ඉක්බිති කුජ්ඣ, රථෙසභ, වරසෙතකෙතු, දරීමුඛ, නේරු, ආසා (ආසංක), නන්ද (මිගාලොප), සිරි (සිරිකාලකණ්ණි), සුචිත්ත (කුක්කුට), ධම්මික (ධම්මධජ), නන්දිමිග යන ජාතක දසයයි.
2. ඛරපුත්තවග්ගො
924. “එළුවා අඥානයයි නුවණැත්තෝ සැබවක්ම කීලු. බලව, අඥානතෙම රහස්හි කටයුතු කර්මය ප්‍රකාශ ස්ථානයෙහි කරන්නේ එය නුසුදුසුයයි දැන නොගණී”යි කීය.
925. “යහළු කොටළු පුත්‍රය, නුඹ වනාහි මට වඩා අඥානයෙහිය කුමක් හෙයින්ද යත්? රැහැණින් විය හා සමග ග්‍රීවයෙහි බඳනා ලද වක්වූ තොල් ඇත්තේ මුඛ බන්ධනයෙන් බඳනාලද මුව ඇත්තේ වෙහි, මොහුට වඩා මම අඥානයෙමියි” දැනගණුව.
926. “යහලුව බැම්මෙන් මුදන ලද්දාවූ යම්බඳුවූ තෝ පැන නොයන්නෙහිද එය තාගේ අන්‍යවූද අඥානකමෙක යහළුව තෝ යම්බඳුවූ සෙනක නම් රජෙකු උසුලාගෙණ යෙහිද හෙතෙමේද ඉතා අඥානයෙකැයි” කීය.
927. “යහළුව අජ රාජය, යම්හෙයකින් මම අඥානයයි දැනගත්තෙහිද (එසේ වේවා) ඉක්බිති සේනක නම් රජ කවර හේතුවකින් අඥාන වීද මා විසින් විචාරණ ලද්දේ එය මට කියව.
928. “යමෙක් සියළු ශබ්ද දන්නා මන්ත්‍රය ලැබ භාර්යාවට දෙන්නේද ඒ කාරණයෙන් ඔහුගේ ආත්මය පිරිහෙන්නේය. ඕතොමෝද ඔහුට නොවන්නේය.
929. “ජනේශ්වරය, තා වැන්නෙක් ආත්මය හැරපියා මෙය මට ප්‍රියයයි ප්‍රියවූවන් ඒකාන්තයෙන් සේවනය කෙරේද, කුමක් හෙයින්ද යත්? ලෝකයෙහි උතුම් සියල්ලට වඩා ආත්මයම ශ්‍රේෂ්ඨවේ. එසේමැයි, රැස්කරණ ලද වස්තු ඇත්තහු විසින් පසුව ප්‍රිය වස්තූහු ලැබිය හැක්කාහු යයි” කීයේය.
1. ඛරපුත්තජාතකං.
930. “රළු නොවූ සිළුටුවූ කරගලෙහි ශුද්ධ කරණ ලද්දාවූ යහපත් මලින් යුක්තවූ සියුම්වූ තියුණුවූ අගද ඇති ඉඳිකටුව මිළදී ගන්ට කවරෙක් කැමැත්තේද,
931. “යහපත් කොට මදිනා ලද්දාවූද යහපත් මළ ඇත්තා වූද පිළිවෙලින් මනාව මට කරණ ලද්දාවූද ගටනා කල්හි ඝනවූ කිණිහිරි පලාගෙණ ඇතුළට වදනාවූද තදවූ ඉඳිකටුව මිළ දී ගන්ට කවරෙක් කැමැත්තේද,
932. “දැන් බොහෝ ඉඳිකටුද බිලී කටුද මේ කඹුරු ගමින් බැහැරට යන්නාහ. කඹුරු ගමෙහි ඉඳිකටු විකුණන්ට මේ කවරෙක් කැමති වේද,
933. “මෙයින් නොයෙක් ආයුධයෝද බැහැරට යෙත්. නානාප්‍රකාරවූ බොහෝවූ කර්මාන්තයෝද වෙත්. මේ කඹුරු ගමෙහි ඉඳිකටු විකුණන්ට මේ කවරෙක් සුදුසුවේද,