817. “රාජය, මාගේ වසඟ බවට ආවාවූ මෙබඳුවූ තොපගේ යම්කිසි කාරණයෙක් තා මේ දුකින් මුදන්නේද, එසේවූ කාරණයක් ඇත්ද,
818. “දරුව, තාගේ වසඟ බවට ආවාවූ මෙබඳුවූ මාගේ යම්කිසි කාරණයෙක් මා මෙබඳු දුකින් මුදාද, එසේවූ කාරණයෙක් නැත්තේය.
819. “රාජය, සුචරිතයට වඩා අනිකක් මරණ කාලයෙහි රක්ෂා නොකරන්නේය. රජ, ශුභාෂිතයට වඩා මරණ කාලයෙහි අනිකක් රක්ෂා නොකරන්නේය මෙයින් අන්‍යවූ මුක්තා මාණික්‍යාදී ධනයද මෙසේ මැයි.
820. “මට ආක්‍රොශ කෙළේය. මට ගැසුවේය. මා දිනුවේය. මා අයත් දෙය හැරගත්තේ යයි මෙසේ යම් කෙනෙක් ඒ සිත බැඳගණිත්ද, ඔවුන්ගේ වෛරය නොසංසිඳේ.
821. “මට ආක්‍රොශ කෙළේය. මට ගැසුවේය. මා දිනුවේය. මාගේ අයිති දෙය හැර ගත්තේයයි යම් කෙනෙක් ඒ සිත බැඳ නොතබත්ද, ඔවුන්ගේ වෛරය සංසිඳේ.
822. “මෙහි වෛරයෙන් වෛරයෝ කිසිකලෙකත් නොම සංසිඳෙත් වෛර නොකිරීමෙන්ම සංසිඳෙති. මෙතෙම සත්පුරුෂයන්ගේ ප්‍රවේණි ධර්මය වේයයි” වදාළේය.
1. දීඝිතිකොසලජාතකං පඨමං.
823. “පරලොව ගියහු අනුව ශොක කෙරෙහි යන යමක් ඇද්ද, එය ගිහිගෙන් ඉවත්වූ අනගාරික වූ ශ්‍රමණවූම තොපට සුදුසු නොවේ.
824. “ශක්‍රය, ඒකාන්තයෙන් එක්ව විසීමෙන් මනුෂ්‍යයාගේද මෘගයාගේද හෘදයෙහි ප්‍රෙමය හටගණියි. එය ශොක නොකරන්නට නොපිළිවන.
825. “මළහුටද මැරෙන්නහුටද, යම් කෙනෙක් හඬත්ද, ඔව්හු හඬත්මය වැළපෙත්මය. ඍෂිය, නොහඬව, ඒ හැඬීම සත්පුරුෂයෝ හිස් යයි කීහ.
826. “බ්‍රහ්මය, ඒකාන්තයෙන් හැඬීමෙන් මළාවූ පරලොව ගිය තැනැත්තේ නැඟී සිටින්නේ නම් සියල්ලෝ එකතුව ඔවුනොවුන්ගේ මළ නෑයන්ට හඬමු.
827. “ගිතෙලින් ඉසිනලද ගින්නක් මෙන් ශෝකයෙන් ඇවිළුනාවුම මා ඒකාන්තයෙන් ජලයෙන් ඉසින්නාක් මෙන් සියලු පීඩාව නිවූයේය.
828. “ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය යමෙක් දුරු කෙළේය. හෙතෙම මාගේ හෘදය ඇසුරු කළාවූ යම් ශොක නමැති හුලක් වීද, එය ඒකාන්තයෙන් උදුරා දැමීය.
829. “ශක්‍රය, ඒ මම උදුරණලද ශොක හුල ඇත්තේ වෙමි. එහෙයින් පහවූ ශොක ඇති නොකැළඹුනු සිත් ඇති මම ඔබගේ වචනය අසා ශොක නොකරමි. නොහඬමි.”
2. මිගපොතකජාතකං දුතියං.
830. “කොයි ගියාදෝ, කොයි ගියාදෝ’යි කියා මෙසේ ජනතෙම වැළපෙයි. මුෂිකා තොමෝ ලිඳ ළඟ නසන ලද්දීයයි තනිවූ මමම දනිමි.
831. “යම්සේ මෙසේද මෙසේද පහරදීමට අවකාශ සොයමින් කොටළුවෙකු මෙන් පසුබස්නෙහිද, එසේ හෙයින් මේ කාරණය දනිමි. ලිඳ ළඟ, මූෂිකා නම් දාසිය නසා යවනම් රජුද නසන්ට කැමැත්තෙහිද,
832. “දුෂ්ප්‍රාඥය, තරුණද වෙහි, ප්‍රථම වයසින් යුක්ත වූයේද වෙහි. යෞවනද වෙහි. දික්වූද මේ යෂ්ටියෙන් යුත් ආයුධයක් එල්බගෙණ සිටියෙහි. තාගේ ජීවිතය නොදන්නෙමි.
833. “අහසෙහිවූ දිව්‍ය භවනයෙන්ද, ශරීරාවයව හා සමානවූ පුත්‍රයා කරණකොටගෙණද මිදුනේ නොවෙමි. කෙසේ මිදුනේද යත්, පුත්‍රයා විසින් මරණය පතන ලද්දේ බන්ධනය කොට දුන් ගාථාවලින් මිදුනේ වෙමි.
834. “ලාමකවූද, උසස්වූද, මධ්‍යමවූද, සියලු විද්‍යාව හදාරන්නේය. සියලු ශාස්ත්‍රයාගේ අර්ථය දැනගන්නේය. සියලු ශාස්ත්‍රය නොම ප්‍රයොග කරන්නේය. යම් කලෙක උගත් ශාස්ත්‍රය අර්ථ ඵලවයිද, එබඳුවූ කාලයක් වේයයි’ කීයේය.
3. මූසිකජාතකං තතියං.
835. “බමුණ, සියලු භාණ්ඩය ගෙණ පරතෙරට පැමිණියේ වෙහි. වහාම නැවත එව. දැන් මේ නදියෙන් මාද වහා එතෙර කරව.
836. “පින්වතිය, සංසර්ගයක් නොකළාවූ අභිනවවූ මා දිගු කලක් කරණලද සංසර්ග ඇති, ස්ථිරවූ (ඒ ස්වාමියා කෙරෙන්) පරිවර්තනය කෙළෙහි නම් පින්වතිය, තී මා කෙරෙනුදු අනිකෙකු පෙරළා ගන්නේය. එහෙයින් මෙයින් ඉතා දුරකට මම යන්නෙමි.
837. “තුවරගස් ලැහැබෙහි මේ කවර නම් තැනැත්තියක් මහසිනා කෙරේද, නෘත්‍යයක් හෝ ගීතයක් හෝ මොනවට පවත්වන ලද කුලුතාලමක් හෝ මෙහි නැත. සුන්දරවූ කළවා ඇති ශොභනවූ තැනැත්තිය, හැඬිය යුතු කාලයෙහි කුමක් හෙයින් මහසිනා කෙරෙහිද,
838. “අඥානවූ නුවණනැත්තාවූ ජම්බුකය. තෝ ප්‍රඥා නැත්තෙහි වී. මත්ස්‍යයාද මස්පිඩද යන දෙකින් පිරිහුනි. මා මෙන් සිතන්නෙහි.
839. “අනුන්ගේ වරද දැකීමට පහසුවේ. තමාගේ වරද වනාහි දක්නට නොහැක්කේය. එහෙයින් නුඹද, සැමියාද සොර සැමියාද යන දෙදෙනාගෙන් පිරිහුනි. මා මෙන් සිතන්නෙහිය.