2. වණ්ණාරොහ වර්ගය
767. “වර්ණයෙන්ද ආරොහයෙන්ද උතුම් ජාතියෙන්ද කාය බලයෙන් හා වීර්යයෙන්ද යන මෙයින් සුබාහු නම් ව්යාඝ්රතෙමේ මට වඩා උතුම් නොවේයයි ශොභනවු දළ ඇත්ත මෙසේ කීයෙහි දැයි විචාළේය.
768. “වර්ණයෙන්ද ආරොහයෙන්ද ජාතියෙන්ද කාය බලයෙන්ද නිෂ්ක්‍රමණ වීර්යයෙන්ද මේ සුදාඨ නම් මෘග රාජයා මට වඩා උතුම් නොවේයයි ශොභනවූ බාහු ඇත්ත, මෙසේ තෝ කීයෙහි සැබෑදැයි විචාළේය.
769. “සුබාහු නම් යහළුව, මෙසේම වසන්නාවූ මට ද්‍රොහ කෙරෙහිද, දැන් මම තා සමග එක්ව විසීමට නො කැමැත්තෙමියි.
770. “යමෙක් අනුන්ගේ මිථ්යාවචනයන් සැබෑ මෙන් අදහන්නේද, හෙතෙමේ මිත්‍රයා කෙරෙහි වහා බිඳෙන්නේය. බොහෝවූ වෛරයද රැස් කරන්නේයි.
771. “යමෙක් හැම කල්හි අප්‍රමාද වූයේ මිත්‍රයාට විශ්වාසය නොදේද බිඳීමෙහි සැක ඇත්තේ වේද, සිදුරුම සොයන්නේ වේද හෙතෙමේ මිත්‍රයා නොවේ. යම් මිත්‍රයෙකු කෙරෙහි ලයෙහි ජාත පුත්‍රයෙකු මෙන් පවතීද යම් මිත්‍රයෙක් අනුන් විසින් බිඳිය නොහැකි වේද, හෙතෙමේ එකාන්තයෙන් මිත්‍රයා වේයයි” කීයේය.
1. වණ්ණාරොහජාතකං පඨමං.
772. “ශීලය උතුම්වේ. ශ්‍රැතයද හෙවත් උගත්කමද උතුම්යයි මෙසේ මට සැකයක් විය. ශ්‍රැතයට වඩා ශීලයම උතුම්වේයයි කීමෙහි මට සැකයක් නැත.
773. “ක්ෂත්රියාදී ජාතියද රූප වර්ණයද හිස්ය. ශීලයම උතුම්වේමැයි ඒ එසේමැයි ශීලයෙන් යුක්ත නොවන්නාහට ශ්‍රැතයෙන් ප්‍රයෝජනයක් නැත.
774. “අධර්මයෙහි පිහිටියාවූ ක්ෂත්රිය තෙමේද අධර්මයන් ඇසුරු කළාවූ වෛශ්‍ය තෙමේද යන ඒ දෙදෙනා දිව්‍ය මනුෂ්‍ය යන දෙලොව හැර අපායෙහි උපදිත්.
775. “ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, චණ්ඩාලයෝය, බඹුරෝය යන මොහු මෙලොව දස කුසල ධර්මයෙහි හැසිර දෙව්ලොවදී සමවූවාහු වෙත්.
776. “වේදයෝද පරලොව පිණිස නොවන්නාහ. ජාතියද පරලොව පිණිස නොවේ. නෑයෝද පරලොව පිණිස නොවන්නාහ. පිරිසිදුවූ ස්වකීය ශීලයම පරලොව සුව පිණිසද මෙලොව සුව පිණිසද වන්නේයි.”
2. සීලවීමංසජාතකං දුතියං.
777. “ලජ්ජාව දුරු කරන්නාවූ මිත්‍ර භාවයෙන් පිළිකුල් කරන්නාවූ තාගේ මම මිත්‍ර වෙමියි” මෙසේ වචනයෙන් පමණක් කියන්නාවූ උතුම් කටයුතු දෙමියි. කෙරෙමියි හෝ නොකරන්නාවූ පුද්ගලයා මාගේ මෙතෙමේ මිත්‍රයෙක් නොවෙයි කියා මෙසේ ඔහු දැන ගන්නේයි.
778. “යමක් වනාහි කරන්නේද එයම කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. නොකරණ දෙය වචනයෙන් කියන්නාවූ ඔහු පණ්ඩිතයෝ දැනගණිත්.
779. “බිඳීමෙහි සැක කරන්නාවූ වරදම බලන සුළුවූ යමෙක් හැමකල්හි අප්‍රමාද වූයේ මිත්‍රයාට විශ්වාසය නොදේද, හෙතෙමේ මිත්‍ර නොවේ. අනුන් විසින් භෙද කළ නොහැකිවූ යමෙක් යමෙකු කෙරෙහි වනාහි උරෙහි ජාත පුත්‍රයෙකු මෙන් පවතීද හෙතෙමේ ඒකාන්තයෙන් මිත්රයාවේ.
780. “පුරුෂයා පිළිබඳවූ බර උසුලන්නාවූ ඵලයද ආනිශංසයද විඳිනු කැමැත්තේ සතුටුවීමට කරුණුවූ ප්‍රශංසා එළවන්නාවූ සැපය වඩයි.
781. “ධර්ම ප්‍රීති රසය බොන්නේ උසස් විවේක රසයද කෙලෙස් සංසිඳීමෙන් ලැබූ රසයද පානය කොට හෙතෙමේ පහවූ කෙලෙස් පීඩා ඇත්තේ වේ. කෙලෙස් තැවීමෙන් පාප රහිතද වේ.”
3. හිරිජාතකං තතියං.
782. “දැල්වෙන පහනක් ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ කවරෙක් නම් රාත්‍රියෙහි කණාමැදිරියෙකු දැක ගින්නැයි සිතුවේද?
783. “හෙතෙම ගොම කුඩුද තණකොළද ඊට මතුපිටින් දමා විපරීත සංඥාවෙන් (ගින්නක් යැයි සිතා) දල්වාගන්නට නොහැකි විය.
784. “මෙපරිද්දෙන්ම අනුපායයෙන් අර්ථය සොයන මෝඩයා අර්ථය නොලබයි. කිරි නැති අඟින් කිරි දොහන්නට තැත් කරන්නාක් මෙනි.
785. “උපාය දන්නා මානවකයෝ විවිධ උපායයන්ගෙන් අර්ථය ලබති. ඒ සතුරන්ට නිග්‍රහ කිරීමෙන්ද මිතුරන්ට සංග්‍රහ කිරීමෙන්ද වේ.
786. “බලය ලැබීමෙන් සේනාව මුදවාගැනීමද, (රජුට) ප්‍රියයන්ගේ නය මාර්ගයෙන්ද පෘථිවිපාලකයෝ මේ පොළවෙහි වෙසෙත්.”
4. ඛජ්ජොපනකජාතකං චතුත්ථං.