34. “කාරණ්ඩිය, තනිව වනයෙහි කඳුරැළියෙහි නැවත නැවත ඉක්මන් ස්වභාව ඇත්තේ ගල් දමන්නෙහිය. මෙහිලා තට කවර නම් ප්‍රයෝජනයෙක්ද?”
35. “මම වනාහි සාගරය විසින් සෙවුනා ලද ඒ මේ පොළොව හස්තතලය මෙන් පාංශු පර්වතයන්ද ගල් පර්වතයන්ද විසුරුවා සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.”
36. “කාරණ්ඩිය, මේ පොළොව තනිවූ මිනිසෙක් හස්තතල වැනි කොට සම කිරීමට හැකි නොවේයයි සිතමි. කඳුරැළිය පිරවීමට උත්සාහ කරන්නේම මේ සත්ව ලෝකය හරින්නෙහියයි හඟිමි.”
37. “බ්‍රාහ්මණය, ඉදින් මේ එක් මනුෂ්‍යයෙක් සියලු පොළොව සම කිරීමට සමර්ථ නොවේද, එපරිද්දෙන් නුඹද නොයෙක් දෘෂ්ටි ඇත්තාවූ ඒ මේ මිනිසුන් වසඟ බවට නොපමුණුවන්නෙහිය.”
38. “කාරණ්ඩිය, මිනිසෙකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නොපිළිවන්ද එසේම මනුෂ්‍යයෝද හික්මවන්නට නොපිළිවන්හයි පින්වතා සුළු වශයෙන් මට වැඩ පිණිස කීයෙහිද, මෙය මෙසේමයයි” කීයේය.
කොරණ්ඩියජාතකං ඡට්ඨං.
39. “හැට අවුරුද්දෙන් බස්නා මද ඇති හස්තිරාජය ඔබට වඳිමි. අරණ්‍යයෙහිවූ හස්තීන්ට ස්වාමිය, යසස් ඇත්ත. මාගේ පියාපත් වලින් ඔබට වඳිමි. දුර්වලවූ මාගේ දරුවන් නොනසව.”
40. “හස්තිරාජය, ඔබට නමස්කාර කරමි, තනිව ඇවිදින තැනැත්ත, වනයෙහි හැසිරෙන තැනැත්ත, ගල් පර්වත හා පස් පර්වතයන් ගොචර කොට ඇත්ත, ඔබට පියාපත් වලින් වඳිමි. දුර්වලවූ මාගේ දරුවන් නොනසව.”
41. “කැටකිරිල්ල, තීගේ දරුවන් මරන්නෙම්මය. තී දුර්වලයෙහිය. දුර්වලවූ තී මට කුමක් කරන්නෙහිද? තී වැන්නියන්ගේ ලක්ෂයකුදු වම් පයින් විශේෂයෙන් තලා සුණු කරන්නෙමි.”
42. “හස්තිරාජය, හැම තන්හිම ශක්තියෙන් කටයුත්තක් නොවේමය. එසේමැයි අඥානයාගේ බලය වනාහි වධය පිණිසවේ. යමෙක් දුර්වලවූ මාගේ දරුවන් මැරීද ඒ තට අනර්ථයක් කරන්නෙමි.”
43. “කවුඩාද, කැටකිරිල්ලද මැඩියාද නිලමැස්සාද බලව. මොහු සතරදෙනා එකතුව ශක්තිමත්වූ හස්තියා නැසුවාහුය. වෛර ඇත්තන්ගේ වෛරයේ හටගැන්ම බලව. එහෙයින් යම් කිසිවෙකු සමගද වෛරය නොකරව්යයි” කීයේය.
ලටුකිකජාතකං සත්තමං.
44. “දෙවයෙනි, මහා ප්‍රතාප නම් රජුට අපරාධ කළ තැනැත්තී නසන ලද වැඩ ඇත්තී මම්මය. එහෙයින් මේ ධර්මපාල කුමරු මුදාවා, මාගේ හස්තයන් කපව.”
45. “දෙවයෙනි, මහා ප්‍රතාප නම්වූ රජුට අපරාධ කළාවූ නසන ලද අභිවෘද්ධිය ඇත්තී මම්මය. එසේ හෙයින් මේ ධර්මපාල කුමරු මුදවා ඉදින් කැමැත්තෙහි නම් මාගේ පාදයන් කපව.”
46. “දෙවයෙනි, මහා ප්‍රතාප නම්වූ රජුට අපරාධ කළාවූ නසන ලද අර්ථ ඇත්තී මම්මය. එසේ හෙයින් මේ ධර්මපාල කුමරු හරීවා, ඉදින් කැමැත්තෙහි නම් මාගේ හිස කපව.”
47. “රජ්ජුරුවන්ට උරෙහි ජාතවූ පුත්‍රයා නොමරවයි යම් කෙනෙක් නොකියද්ද, එසේහෙයින් මේ රජුගේ මිත්‍රයෝද අමාත්‍යයෝද, යහළුවෝද, නැත්තාහයි සිතමි.”
48. “රජ්ජුරුවන්ට තමහට දාවූ පුත්‍රයා නොමරවයි යම් කෙනෙක් නොකියත්ද, එසේහෙයින් මේ රජහුගේ මිත්‍රයෝද, නෑයෝද, යහළුවෝද, නැත්තාහයි සිතමි.”
49. “මුළු පොළොවට හිමිවූ ධර්මපාල කුමරුන්ගේ සඳුන් කල්ක ගැල්වූ අත් දෙක කපනු ලබත්. දෙවයෙනි, මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙත්යයි” කීය.
චූළධම්මපාලජාතකං අට්ඨමං.