1. “රථය, අශ්වයෝය, මිණි කොඬොල්ය, යන මොවුන් පිරිහී ගියේය. එසේම පුත්රයන්ද, අඹුවන්ද පිරිහුනේය. සියලු සම්පත් ඉතිරිනොකොට ගෙණගිය කල්හි ශෝක කිරීමට සුදුසු කාලයවේ. කුමක් හෙයින් ශෝකයෙන් නොතැවෙන්නෙහිද,”
2. “කාමය කැමැත්තිය, සම්පත්තීහු සත්වයා පළමුකොටම හැරදමත්. සත්වතෙමේද ඒ සම්පත් පළමුකොටම හැරදමයි. සම්පත් ඇත්තාහු සදාකාලික නොවෙත්. එහෙයින් මම ශොක කරන්ට සුදුසු කාලයෙහි ශෝක නොකරමි.”
3. “සත්තුකය, චන්ද්රයා උදාවෙයි. ක්රමයෙන් පිරිහීමට යෙයි. විනාශයටද යෙයි. සූර්යයා ලෝකය තවා හෙවත් බබුළුවා බැස ගියේද, එපරිද්දෙන් මා විසින් අෂ්ටලෝක ධර්මයෝ දක්නාලදහ. එහෙයින් මම ශොක කිරීමට සුදුසු කාලයෙහි ශෝක නොකරමි.”
4. “සම්පත් කැමතිවූ අලසවූ ගෘහස්ථයා යහපත් නොවේ. සංයම නැත්තාවූ, ප්රව්රජිතයා යහපත් නොවේ. විමසා කටයුතු නොකරන්නාවූ රජතෙමේද, සුදුසු නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙනුසුළුද ඒ කිපීම සුදුසු නොවේ.”
5. “දිශාධිපතිය, ක්ෂත්රියතෙමේ පරීක්ෂාකොට කටයුතු කරන්නේය. පරීක්ෂා නොකොට ක්රියා නොකරන්නේය. රාජය, විමසා කටයුතු කරන්නහුගේ පරිවාරාදි යශසද කීර්ති ඝොෂාවද වැඬේයයි” කීයේය.
මණිකුණ්ඩලජාතකං පඨමං.
6. “නිල්වූ තෘණ ඉක්මන් වෙමින්ම කපාගෙණවුත් පහවූ ජීවිතෙන්ද්රිය ඇති මහළු ගොණාට කව කවයි කියා කුමට කියන්නෙහිද,”
7. “ආහාරයෙන්ද, පානයෙන්ද, මළාවූ ගොණා නොම නැගීසිටින්නේය, අඥානයා යම්සේද, එසේ තෝද නිරර්ථක වූවක් කියා හඬන්නෙහිය.”
8. “හිසද, අත්පාද, වලිගයද එසේම තිබේ. කර්ණයෝද එසේ තිබෙත් එහෙයින් ගොණා නගින්නේයයි” සිතමි.
9. “අපගේ මළාවූ මුත්තනුවන්ගේ හිස හෝ අත් පා හෝ නොම දක්නා ලැබෙත්. එසේ වූවක් මැටියෙන් කළාවූ සෑයෙහි හඬන්නාවූ නුඹ අඥාන නොවේද?”
10. “ගිතෙල් ඉසිනලද ගින්නක්මෙන් ශෝකයෙන් ඇවිල ගත්තාවූම මා ඒකාන්තයෙන් ජලය ඉසින්නෙකු මෙන් සියලු විඩාව නිවූයේය.”
11. “ශෝකයෙන් පෙළුනාවූ මාගේ පීතා ශෝකය යමෙක් දුරු කෙළේද, හෙතෙම මාගේ හෘදයෙහිවූ යම් ශොක නමැති හුලක්වීද, ඒ හුල ඒකාන්තයෙන් උදුරාදැමීය.”
12. “මානවකය, ඒ මම උදුරා දමනලද ශොක හුල ඇත්තේ වෙමි. එහෙයින් පහවූ ශොක ඇති නොකැළඹුනු සිත් ඇති මම නුඹගේ කරුණු සහිත වචන අසා ශොක නොකරමි. නොහඬමි.”
13. “පියා සුජාතයා මෙන් සප්රාඥවූ යම් කෙනෙක් අනුකම්පා ඇත්තාහු වෙත්ද, ඔව්හු මෙසේ කෙරෙත්. ශෝකයෙන් වළක්වත්යයි” කීයේය.
සුජාතජාතකං දුතියං.
14. “බ්රහ්මදත්තය, ක්ෂෙම යයි කියාද සුභික්ෂය කියාද ශරීරයෙහි සැප ඇති බවක් වේද මේ සියල්ල නිත්යයෙන් නොවිය යුතුය. සාගරය මැද බිඳුනාවූ නැව ඇත්තේ අතිශයින් මුළාවූයේම වේද එපරිද්දෙන් වස්තු විනාශයෙහිද මුළා වන්නේයයි කීහු.”
15. “පුරුෂතෙමේ යම් ක්රියාවන් කෙරේද ඒ ක්රියාවන් තමා කෙරෙහි දක්නේය. යහපත කරන්නේ යහපතක්ම දක්නේය අයහපත කරන්නේ අයහපතක් දක්නේය. ඒ එසේමැයි යම්බඳු බිජුවටක් වපුරාද එබඳුවූ ඵලයක් ලබන්නේය.”
16. “යම්බඳුවූ පාපයක් කරණ ලදද, එය පසුව තවන්නේය. එසේහෙයින් තෝ පාපයක් නොකරවයි එකල්හි පාරාසරිය නම් ඇදුරුතෙමේ යමක් කීයේද, මෙය ආචාරීන්ගේ වචනයයි.”
17. “පිංගිය නම් බමුණ, යම් ගසක් මුල ක්ෂත්රියයන් සම්බන්ධවූ සැරසුණාවූ සඳුන් කල්ක ගැල්වූ දහසක් දෙනා විනාශ කරවීම්ද පතළාවූ අතුපතර ඇති ඒ මේ නුග ගසම එම දුක මා කරා නැවත පමුණුවන ලදී.”
18. “සඳුන් කල්ක ගල්වන ලද ශරීරාවයව ඇත්තාවූ සාමාවද මුරුංගා ගසක උඩට නැගුණාවූ යෂ්ටියක් මෙන් බබලන්නාවූ උබ්බරී නම් මාගේ බිසොව නොදැකම කළුරිය කරන්නෙමි. එය මට මේ මරණ දුකට වඩා ඉතා දුක වන්නේයයි” කීයේය.
වෙනසාඛජාතකං (ධොනසාඛජාතකං (ක. සී. පී.)) තතියං.